April 24, 2024

මින්නේරිය හේන්යාය ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ සිදු වූ පුද්ගල ඝාතනයක් සමග ප්‍රදේශයේ හටගත් නොසන්සුන් වාතාවරණය හමුවේ පොලිස් ස්ථාන කිහිපයකින් අතිරේක බලඇණි කැඳවා තිබිණි.

මින්නේරිය වැව් බැම්ම මතින් ගමන් කරමින් සිටි පුද්ගලයකු මෙලෙස ඝාතනය කර ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙකු විසින් බව පැවසේ.

අදාළ පුද්ගලයාට තියුණු ආයුධයකින් පපු ප්‍රදේශයට පහරදී ඇති අතර ඔහු රෝහල වෙත රැගෙන යමින් සිටියදී මියගොස් ඇත.

ඝාතනය කළ බවට සැකකරන පුද්ගලයන් දෙදෙනා ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මින්නේරිය මිහිඳු මාවතේ පදිංචි හේවගේ කපිල ෆොන්සේකා නැමති තිස්නව හැවිරිදි එක්දරු පියෙකි.

මෙම ඝාතනයට හේතු වී ඇත්තේ පෞද්ගලික ආරවුලක් බව පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා සහ ඝාතන සැකකරුවන් මින්නේරි ජලාශයේ ධීවර රැකියාවේ නිරත වන අය වන අතර ඝාතනයට ලක් වූ කපිල ෆොන්සේකා නිත්‍යනුකූලව මින්නේරි ජලාශයේ ධීවර කටයුතු සිදු කරන අයකු බව පැවසේ.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා තහනම් දැල් භාවිත කරමින් ජලාශයේ මසුන් ඇල්ලීමේ කටයුත්තේ නිරත වී සිට ඇති බවට චෝදනා එල්ල වේ.

එසේ තහනම් දැල් භාවිත කරමින් මසුන් ඇල්ලීමට විරුද්ධව කටයුතු කිරීම නිසා මෙම ඝාතනය සිදුව ඇති බව දේශවාසීන් සහ ඝාතනය වූ පුද්ගලයාගේ පවුලේ අය පොලිසියට ප්‍රකාශ කර ඇත.

එම සැකකරුවන් මීට පෙරත් මේ පුද්ගලයාට තියුණු ආයුධවලින් පහර දී තුවාල සිදුකර ඇති අතර ඒ සම්බන්ධව පොලිසියට පැමිණිලි කර ඇති බවත් ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ ඥාතීන් සඳහන් කර තිබේ.

මෙම ඝාතනය සිදුවී පැයක් පමණක් ගත වූ පසුව කුපිත වූ ප්‍රදේශවාසීන් ඝාතනයට සම්බන්ධ එක් පුද්ගලයකුගේ නිවසට පහරදී දේපළවලට හානි කර තිබිණි.

පසුව පොලිසිය මැදිහත් වී තත්ත්වය සමථයට පත්කර සැකකරුගේ දරුවන් බේරාගෙන මින්නේරිය පොලිසිය වෙත රැගෙනවිත් තිබේ.

ඉන් අනතුරුව උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවේ යැයි පවතින සැකය නිසා හබරණ , දියබෙදුම සහ හිඟුරක්ගොඩ පොලිස් ස්ථානවලින් අතිරේක පොලිස් බලඇණි කිහිපයක් කැඳවා තිබිණි.

මේ වන විට තත්ත්වය සමථයකට පත්කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක්ද ක්‍රියාත්මක කර ඇති බව මින්නේරිය පොලිසිය පවසයි.

 

42.31%
17.27%
32.76%