April 20, 2024

Coca-Cola සමාගම විසින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස කෞෂාලි කුසුමපාල නම් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් මෙම තනතුරට පත්වූ පළමු කාන්තාව ලෙස ඇය ඉතිහාසයට එක්වනු ඇත.

2024 අප්‍රේල් 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම සිදුකර තිබේ.

ඒ අනුව 2019 දී කලාපයට නායකත්වය දුන් පන්කජ් සිංහගෙන් ඇය පාලනය භාර ගැනීමට නියමිතය.

බෝතල් කිරීමේ හවුල්කරුවන්, ගනුදෙනුකරුවන්, කර්මාන්ත ආශ්‍රිතයන්, පාරිභෝගිකයන් සහ බාහිර පාර්ශ්වකරුවන් සමඟ අත්වැල් බැඳගෙන වැඩ කිරීම ඇයගේ කාර්යභාරයට ඇතුළත් වේ.

කෞෂාලි කුසුමපාල 2009 වසරේ සිට විවිධාකාර වූ වෘත්තීය ජීවිතයක් ගොඩනඟා ගෙන ඇති අතර ඇය ලියෝ බර්නෙට්, ෆොන්ටෙරා ඩේරි සහ ඩොමිනෝස් පීසා වැනි සුප්‍රසිද්ධ ආයතන සමඟින් සිය කුසලතා ඔප් නංවාගෙන ඇත.

Coca-Cola හි බෝතල් කිරීමේ හවුල්කරුවන් වන Coca-Cola Beverages Sri Lanka සහ Male’ Aerated Water Company සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඇති උනන්දුව ඉස්මතු කරමින් මෙම පත්වීම සඳහා ඇයගේ උද්යෝගය ප්‍රකාශ කර ඇත.

කෞෂාලි කුසුමපාල මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ වාණිජවේදී උපාධිධාරිණියකි.