April 19, 2024

මරණයට පත්ව සිටි 68 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයකු ණයක් සඳහා අත්සන් කිරීමට බැංකුවකට රැගෙන ආ කාන්තාවක් බ්‍රසීලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Erika Vieira Nunes නමැති එම කාන්තාව විසින් මළ සිරුර රියෝ ද ජැනයිරෝ නුවර තදාසන්න ප්‍රදේශයක පිහිටි බැංකුවක් වෙත රැගෙන විත් තිබේ.

එලෙස පැමිණි අදාළ කාන්තාව බැංකුවේ සේවකයෙකුට පවසා ඇත්තේ තමන් සමග ආ පුද්ගලයාට රයිස් 17,000 (පවුම් 2,600) ක ණයක් අවශ්‍ය බවයි.

ඊට අදාළ දර්ශන බැංකුවේ සවිකර ඇති ආරක්ෂිත කැමරාවල වීඩියෝ දර්ශන මගින් පෙන්නුම් කෙරෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

පසුව ඇය මිය ගොස් සිටි පුද්ගලයා වෙත පෑනක් දිගු කර එය මළ සිරුරේ අතකින් අල්ලාගෙන “මාමේ, ඔබ සවන් දෙනවාද? ඔබ මෙය අත්සන් කළ යුතුයි,” යනුවෙන් පවසා තිබෙන බව ද ආරක්ෂිත කැමරාවල අඩංගු දර්ශනවල ඇතුළත් බව ද පැවසෙයි.

අනතුරුව “එයා මුකුත් කියන්නෙ නෑ, ඒක තමයි එයාගෙ හැටි” ඇය බැංකුවේ සේවකයින්ට පවසා තිබේ.

“ඔයාට සනීප නැත්නම් මම ඔයාව රෝහලට ගෙනියනවා.” යනුවෙන් ද ඇය මළ සිරුර වෙත පවසා ඇත.

එහෙත් එම පුද්ගලයාගේ හිස දිගින් දිගටම කඩා වැටීම හේතුවෙන් බැංකු කාර්ය මණ්ඩලයට සැකයක් හට ගෙන තිබේ.

එබැවින් ඔවුන් සැකකාර කාන්තාව සිය භාරයේ රඳවා තබා ගෙන පසුව ඒ සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

බැංකුව වෙත පැමිණි පොලිස් නිලධාරීන් විසින් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

මළ සිරුරකට අපහාස කිරීම සහ වංචාවෙන් සොරකම් කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී ඇතැයි සඳහන්.

අදාළ පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් හේතුවක් අනාවරණ වී නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.

අදාළ පුද්ගලයා මියගොස් ඇති බව සැකකාරිය දැන සිටි බවත්, බැංකුවට රැගෙන එන විටත් ඔහු මියගොස් පැය දෙකක්වත් ගත වී ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන නිලධාරියෙකු වන ෆැබියෝ ලුයිස් සූසා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා තිබේ.

සැකකාර කාන්තාවට මිය ගොස් පුද්ගලයා සමග පවතින සම්බන්ධය කුමක්දැයි පොලිසිය විමර්ශනය කරන බව ඔහු පැවසීය.

කෙසේවෙතත් සැකකාරිය වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා පවසා ඇත්තේ එම පුද්ගලයා මිය ගොස් ඇත්තේ බැංකුවේදී බවයි.

එහෙත් පොලිස් අධිකරණ වෛද්‍ය විශ්ලේෂණයකින් ඔහු නිදා සිටියදී මිය ගොස් ඇති බව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.