April 18, 2024

අබුඩාබිහි පැවැත්වෙන ICC කාන්තා T20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග සඳහා නම්කළ ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට 15 හැවිරිදි යොවුන් දඟ පන්දු යවන්නියක වන ශෂිනි ගිම්හානි ද ඇතුළත්ව සිටී.

රත්ගම දේවපතිරාජ විදුහලෙන් බිහි වූ ක්‍රීඩිකාවක වන ගිම්හානි පසුගියදා නිමාවට පත් වූ ශ්‍රී ලංකාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව සහභාගි වූ වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේදී සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සමත්වූවාය.

වමතේ මැණික් කටුව දඟ කවමින් සුවිශේෂී පන්දු යැවීමක නිරත් වූ මෙම ක්‍රීඩිකාව ප්‍රබල ප්‍රතිවාදීන්ට එරෙහිව T 20 සහ ඕවර 50 ආකෘතියේ කඩුලු හතක් දවා ගැනීමට සමත්වූවාය.

එම කඩුලු සංඛ්‍යාව ජාතික කණ්ඩායමට කැඳවීමක් ලැබිය යුතු තරම් විශ්මය ජනක නොවුණ ද නමුත් ඇගේ පන්දු යැවීම වටා ඇති සුවිශේෂීත්වය නිසා ඇගේ ප්‍රතිවාදීන් ව්‍යාකූල වනු දැකිය හැකි විය.

“අපි ඇයව ඇතුළත් කිරීමට තීරණය කළේ ඇය තුන්කොන් තරඟාවලියේ සහ අපගේ දේශීය තරඟාවලිවලදී ඉතා හොඳින් පන්දු යැවීම නිසා” යැයි ශ්‍රී ලංකා කාන්තා ප්‍රධාන තේරීම් භාර නිලධාරී හේමන්ත දේවප්‍රිය පවසයි.

“අපි රාමුවෙන් පිටත කල්පනා කරමින් ඇය සමඟ අවස්ථාවක් අරන් බලන්න තීරණය කළා. එය හරි ගියොත් ඇය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතා පහසු කරයි.
අපි හොඳම කණ්ඩායම් පහට ක්‍රීඩා නොකරන නිසා ඇයට සුදුසුකම් ලැබීමේ තරඟවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟ ජයග්‍රාහිකාවක විය හැකියි.” යනුවෙන් ඔහු පවසයි.

කණ්ඩායම් නායිකා චමරි අතපත්තු සහ පුහුණුකරු රුමේෂ් රත්නායක ඇය පුහුණුවීම්වලදී දැකීමෙන් පසු ඇයව ගැනීමට දැඩි උනන්දුවක් දක්වා තිබේ.

ගිම්හානිගේ විශේෂත්වය නම් ඇයට වම් අත මැණික් කටුව දඟ පන්දු යැවීම සහ දකුණත් පා දඟ පන්දු යවන අත් දෙකෙන්ම එක හා සමානව පන්දු යැවීමට හැකි වීමයි.

“එයා දුර්ලභ කෙනෙක්. ඇයගේ පන්දු යැවීමේ ඉරියව්ව දෙවියන් විසින් ලබා දීපු දෙයක්. එයාට තියෙන්නේ පොතේ නැති ස්වාභාවික ඇක්ෂන් එකක්. ඒ නිසා ඇයව කියවීම ඉතා අපහසුයි. ඇය එක්තරා ආකාරයක අභිරහස් පන්දු යවන්නියක්. එවැනි පන්දු යවන්නන් T 20 තරගවලදී කඩුලු දවා ගැනීමයි අද සංකල්පය.” ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු කඩුලු රකින්නකු මෙන්ම දක්ෂ පිතිකරුවකු වූ දේවප්‍රිය පැවසීය.

ගිම්හානිගේ පන්දු යැවීමේ ඉරියව්ව හිටපු දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක පෝල් ඇඩම්ස්ගේ ක්‍රියාවට සමාන වන අතර ඔහුගේ ක්‍රියාව එවක හඳුන්වා තිබුණේ ‘බ්ලෙන්ඩරයේ ගෙම්බෙකු'(frog in a blender) ලෙසයි.

ඇඩම්ස් මෙන් නොව, පන්දු යැවීමේ ස්ථානය ගිම්හානිට වඩා හොඳින් නිරීක්ෂණය වීම ඇයට වාසියකි.

“මම මේ කෙල්ලව අවුරුදු 11ක් තිස්සේ දන්නවා. ඇතැමුන් ඇයගේ පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් කිරීමට උත්සාහ කළා. මම උපදෙස් දුන්නේ එහෙම කරන්න එපා ,ඇයට ස්වභාවික ආකාරයෙන් පන්දු යැවීමට ඉඩ දෙන්න කියලයි. ඇය විශ්වාසය ලබාගෙන බුද්ධිය දියුණු කළහොත් ඇය ඉතා ප්‍රයෝජනවත් වෙයි ,” දේවප්‍රිය පැවසීය.

ගිම්හානි ශ්‍රී ලංකා 19 න් පහළ කාන්තා සංචිතයෙන් ජාතික කණ්ඩායමට තේරී පත් වූ එකම ක්‍රීඩිකාව වන අතර කාන්තා T20 ලෝක කුසලාන ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබුණහොත් කාන්තා ජාතික කණ්ඩායම නියෝජනය කරන ළාබාලතම ක්‍රීඩිකාව වීමේ අපේක්ෂාවෙන් ද පසුවෙයි.

සුදුසුකම් ලැබීමේ තරගය අප්‍රේල් 25 සිට මැයි 7 දක්වා අබුඩාබි හිදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වෙනුවෙන් මෙතෙක් බිහිවූ ළාබාලතම ක්‍රීඩිකාව වන්නේ දකුණත් පිතිකරු විශ්මි ගුණරත්න වන අතර 2022 වසරේ කාන්තා T20 තරගයකට අවතීර්ණ වන විට ඇයගේ වයස අවුරුදු 16යි දින 149ක් විය.

ඒ අනුව ඇය තේරුණහොත් දැනට අවුරුදු 15ක් දින 131ක් වන ගිම්හානිට එම වාර්තාව බිඳ දැමීමට හැකිවනු ඇත.

T20 ලෝක කුසලානයේ ගෝලීය සුදුසුකම් ලැබීමේ තරඟය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට නායිකා චමරි අතපත්තු, විශ්මි ගුණරත්න, නිලක්ෂි ද සිල්වා, හර්ෂිතා සමරවික්‍රම, කවිෂා දිල්හාරි, හසිනි පෙරේරා, අනුෂ්කා සංජීවනී, උදේශිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර, අචිනි කුලසූරිය, හංසිමා කරුණාරත්න, කාව්‍යා කවින්දි, නිරෝෂි ප්‍රනාන්දු, සුගන්දිකා කුමාරි සහ සශිනි ගිම්හානි ඇතුළත් වෙති.