April 15, 2024

එක් රැයකින් ඊශ්‍රායල භූමියට ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීම වෙනුවෙන් ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය තීරණය කළහොත් ඒ සඳහා අමෙරිකාව සහභාගී නොවන බව ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට අනතුරු ඇඟවූ බව ධවල මන්දිරයේ නිලධාරියෙක් පවසා තිබේ.

අමෙරිකානු ජනමාධ්‍ය වාර්තා කරන අන්දමට ඉරාන ප්‍රහාරයෙන් අනතුරුව ඊශ්‍රායල අගමැතිවරයා වෙත දුරකථන ඇමතුමක් ලබාදී ඇති අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ඊශ්‍රායලයට එරෙහි පළිගැනීමේ ක්‍රියාමාර්ගයකට අමෙරිකාව සහභාගී නොවන බවයි.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ එම දැනුම්දීම ධවල මන්දිර නිලධාරියකු විසින් රොයිටර් පුවත් සේවය වෙත තහවුරු කරන ලද බව ප්‍රකාශ කෙරී ඇත.

“ඊශ්‍රායලය ආරක්ෂා කර ගැනීමට අමෙරිකාව අඛණ්ඩව උදව් කරනු ඇත, නමුත් යුද්ධය අවශ්‍ය නැත” යනුවෙන් අමෙරිකාවේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානී ජෝන් කර්බි පවසා තිබේ.

ඉරානය ඊශ්‍රායලය වෙත එම ප්‍රහාරය දියත් කළේ අප්‍රේල් 1 දා සිරියාවේ ඩැමැස්කස් නුවර පිහිටි සිය කොන්සල් කාර්යාලයට එල්ල කළ බවට සැකකෙරෙන ඊශ්‍රායල ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙනි .

සිය හමුදා ප්‍රධානීන් දෙදෙනකු ඝාතනයට ලක්වූ එම ප්‍රහාරය ඊශ්‍රායලය විසින් එල්ල කළ බව ඉරානය විශ්වාස කරයි.

එහෙත් ඊශ්‍රායලය මේ දක්වා කිසිදු අවස්ථාවකදී එම ප්‍රහාරය සිදුකළ බවට ප්‍රසිද්ධියේ පිළිගෙන නොමැත.