April 14, 2024

ඉරානය ඊශ්‍රායලය දෙසට ඩ්‍රෝන යානා සහ කෲස් මිසයිල කිහිපයක් එල්ල කර ඇති අතර, කලාපය තුළ මහා ගැටුමක් පිලිබඳ භීතිය උත්සන්න කර ඇත.

ඊශ්‍රායල හමුදාව සෙනසුරාදා රාත්‍රියේ ප්‍රකාශයක් නිකුත් කරමින් ඩ්‍රෝන යානා දියත් කර ඇති බව හෙළිකළ අතර ඒවා පැමිණීමට පැය කිහිපයක් ගතවනු ඇතැයි සඳහන් කළේය.

ටික වේලාවකට පසු, ඉරානයේ ආරක්ෂක අංශ මෙම ප්‍රහාරය තහවුරු කළ අතර, ඊශ්‍රායලයේ නිශ්චිත ඉලක්ක වෙත මිසයිල ද එල්ල කළ බව පැවැසීය.

ප්‍රහාරය දියත් කිරීමෙන් පසු අසල්වැසි ජෝර්දානය හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කළේය.

ඊශ්‍රායලයේ ඩැමස්කස්හි තානාපති කාර්යාල පරිශ්‍රයේ ජ්‍යෙෂ්ඨ ඉරාන හමුදා නිලධාරීන් ඝාතනය කළ ප්‍රහාරයට ඉරානය පළිගැනීමට ප්‍රතිඥා දී ඇති අතර, ඊශ්‍රායලය එහි වගකීම බාරගෙන හෝ ප්‍රතික්ෂේප කර නොමැත.

ඉරානයට එරෙහිව ප්‍රහාර දියත් කරන ලෙස එක්සත් ජනපද ජනාධිපතිවරයා ඊශ්‍රායලයට දැනුම්දී දිනකට පසුව ඉරානය මෙම නවතම ප්‍රහාරය දියත්කර ඇත.

සෙනසුරාදා රාත්‍රියේ ඊශ්‍රායල චැනල් 12 රූපවාහිනිය වාර්තා කළේ, ඉරානය ගුවන් නියමුවන් රහිත ගුවන් යානා දුසිම් ගණනක් දියත් කර ඇති බවයි.

විශ්‍රාමික ජෙනරාල් අමොස් යාඩ්ලින් කියා සිටියේ, ඩ්‍රෝන යානාවල කිලෝග්‍රෑම් 20 බැගින් පුපුරන ද්‍රව්‍ය සවි කර ඇති බවයි.

ඉරානය විසින් තමන් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීමට සුදානම් බව අමෙරිකාව ඇතුළු මිත්‍ර පාර්ශ්වීය රටවල් වලින් ලද බුද්ධි අංශ තොරතුරු මත ඊශ්‍රායලය එරට පුරවැසියන්ට විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කරනු ලැබීය.

එරට සියලුම පාසැල් ඇතුළු අධ්‍යාපන ආයතන, මුහුදු වෙරළ තීරයන් සහා උද්‍යාන නැවත දැනුම් දෙන තුරු වසාදමනු ලැබ තිබේ.

විශාල පුද්ගල ඒකාරාශි වීම් තාවකාලිකව තහනම් කරනු ලැබූ අතර සේවා ස්ථාන පවත්වාගෙන යන්නේ නම් එහි සේවකයින්ට හදිසි අවස්ථාවකදී ආරක්ෂිත ස්ථාන කරා කඩිනමින් පිවිසීමට හැකි අයුරින් රැඳී සිටින්නැයි උපදෙස් නිකුත් කෙරුණි.

එම සියලු උපදෙස් ඊශ්‍රායල් වේලාවෙන් සෙනසුරාදා රාත්‍රී 11.00 සිට ක්‍රියාත්මක බවට නිවේදනය කර තිබේ.

එමෙන්ම ඉරානයද සිය ගුවන් කළාපය සිවිල් ගුවන් සේවා සඳහා වසා දැමනු අතර ඊශ්‍රායලය සහ ඉරාකය ද සිවිල් ගුවන් සේවා සඳහා වසා දැමුණේ කුමන මොහොතක හෝ ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් ඇති බවට දැනුණු නිසාවෙනි.

එම සියලු කටයුතු සිදුවනවාත් සමගම ඊශ්‍රායල් වේලාවෙන් රාත්‍රී 12.00 ට පමණ අමෙරිකානු ආරක්ෂක අංශ විසින් ඉරානය විසින් මරාගෙන මැරෙන ඩ්‍රෝන යානා 50ක් පමණ සිය රටේ සිට ගුවන් ගත කරනු ලැබූ බවට හඳුනාගනු ලැබ තිබේ.

පළමු අදියරෙන් අනතුරුව නැවත වරක් ඉරානය සහ යේමනයේ හූති කැරලිකරුවන් විසින් ඩ්‍රෝන යානා රැසක් ගුවන් ගත කළ බව අමෙරිකානු යුද නෞකාවන් නිරීක්ෂණය කර තිබිණි.

කෙසේ හෝ එලෙස ගුවන් ගතවූ ඉරානයේ සහ හුති කැරලිකරුවන්ගේ ඩ්‍රෝන යානා විශාල සංඛ්‍යාවක් ඉරාකයට සහ ජෝර්දානයට ඉහළ අහසේදී විනාශ කිරිමට අමෙරිකානු හමුදාව සහ ජෝර්දාන් ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා කටයුතු කරනු ලැබ තිබේ.

ඇතැම් ඩ්‍රෝන යානා ඊශ්‍රායල් ගුවන් කළාපයට ආසන්න වනවාත් සමග අයන් ඩෝම් සහ සෑම් ගුවන් නාශක පද්ධති විසින් බිම හෙලීමට සමත් වූ බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ සඳහන් කරයි.

එම ඩ්‍රෝන යානා වලට ප්‍රහාර එල්ල කරනවාත් සමගම ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයක සිතා ඉරාන විප්ලවීය හමුදාව විසින් ඊශ්‍රායලය ඉලක්ක කරමින් බැලස්ටික් මිසයිල සහ කෘස් මිසයිල විශාල සංඛ්‍යාවක් එල්ල කරනු ලැබීය.

අමෙරිකානු ජේෂ්ඨ හමුදා නිලධාරියෙකු උපුටා දක්වමින් විදෙස් ජනමාධ්‍ය සඳහන් කළේ ඉරානය විසින් මිසයිල 100 කට අධික සංඛ්‍යාවක් එල්ල කර ඇති බවයි.

එම මිසයිල ප්‍රහාර ගුවන් ගතවී මිනිත්තු කිහිපයකට පසුව ඊශ්‍රායාලය පුරාවට සයිරන් හඬ සමග අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරුණි.

කෙසේ වුවත් ඉරානය විසින් එල්ල කෙරුණු බැලස්ටික් මිසයිල දෙකක් ඉරාන හමුදා කඳවුරු තුලදීම පුපුරා ගොස් ඇති බවට වාර්තා වනවා. ඉන් ඉරාන හමුදාවට දැඩි හානි සිදුවන්නට ඇති බවයි වාර්තා සඳහන් කරයි.

මේ අතර එක් බැලස්ටික් මිසයිලයක් ඉරාකයට ඉහළ අහසේදී විනාශ වී ඇති අතර තවත් බැලස්ටික් මිසයිල දෙකක් ජෝර්දානයට ඉහළ අහසේදී බිම හෙලීමට එරට ගුවන් ආරක්ෂණ පද්ධතිය සමත්ව තිබේ.

ඉතිරි ඉරාන මිසයිල ප්‍රහාර රැසක් දකුණු සහ උතුරු ඊශ්‍රායල් ගුවන් කලාපයේදී අයන් ඩෝම්, ඩේවිඩ් ස්ලින්ග්, ඇරෝ 2 සහ ඇරෝ 3 යන ගුවන් නාශක පද්ධති මගින් කල් තියා හඳුනා ගෙන ඒවා බීම හෙලීමට සමත් වුවත් මිසයිල කිහිපයක් ජෙරුසලම ඇතුළු ඊශ්‍රායලයේ ප්‍රදේශ කිහිපයකට පතිත වී ඇති බව සඳහන්.

ඇතැම් ඉරාන මිසයිල දකුණු දිග ඊශ්‍රායලයේ නෙගාව් කාන්තාරයේ පිහිටි ඊශ්‍රායල් ගුවන් හමුදාවට අයත් රාමොන් ගුවන් කඳවුරු භූමියට පතිත වී තිබෙන බවයි සඳහන් වෙයි.

ඉරානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කොට ප්‍රහාර දියත් කිරීමත් සමගම ටෙහෙරාන් අගනුවර වීදිවලට රැස්වූ ඉරාන වැසියන් සිය සතුට පළකරමින් ප්‍රීති ඝෝෂා නගන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙයි.

ඇතැම් ඉරාන විසින් ටෙහෙරාන් අගනුවර වාහන පෙළපාලි පවා සංවිධානය කරන අයුරු ද දක්නට ලැබිණි.