April 13, 2024

දකුණු කොරියානු පොප් ගායන තරුවක් වූ Park Bo Ramගේ හදිසි මියයෑම සම්බන්ධයෙන් එරට බලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඒ, ඇය මියගොස් සිටි අභිරහස් තත්ත්වය සැළ කිල්ලට ගනිමිනි.

එක් මාධ්‍ය වාර්තාවකට අනුව, ගායිකාව ඇගේ අකල් මරණයට පැය කිහිපයකට පෙර පෞද්ගලික උත්සවයකට සහභාගී වූ බව Namyangju පොලිස් ස්ථානයේ පරීක්ෂකයන් විසින් තහවුරු කර තිබේ.

මෙම උත්සවයේදී Park Bo Ram මිතුරන් දෙදෙනකු සමඟ මත්පැන් පානය කරමින් සිටි බව එම වාර්තාවේ දැක්වේ.

රාත්‍රී 9.55ට පමණ ඇය කාන්තා විවේකාගාරයට ගොස් ආපසු පැමිණ නැත.

ඇය නොපැමිණීම ගැන බියට පත් වූ ඇගේ යහළුවන් ඇයව පරීක්ෂා කිරීමට ගොස් ඇති අතර එහිදී ඇය සිහිසුන්ව සින්ක් එක මත වැතිර සිටිනු දැක තිබේ.

ඒ අනුව හදිසි සේවා සඳහා වහාම දැනුම් දී ඇති අතර, වෛද්‍ය ආධාර ලැබෙන තුරු ඇගේ මිතුරන් විසින් කෘත්‍රිම ශ්වසනය ලබා දී ඇත.

කෙසේවෙතත්, ඔවුන්ගේ උත්සාහය නොතකා, රෝහලට ගෙන යන විට Park Bo Ram මියගොස් ඇති බව ප්‍රකාශ විය.

Park Boram යන නාමය යටතේ සංගීතය නිකුත් කළ මෙම දකුණු කොරියානු ගායිකාව මියන විට 30වැනි වියේ පසු විය.

ඇයගේ Xanadu Entertainment නිකුත්කළ නිවේදනයක ප්‍රකාශකර තිබුණේ පෞද්ගලික රැස්වීමක සිටියදී හෘදයාබාධයකින් හදිසියේම ඇද වැටී ඇති බවයි.

මරණයට හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත.