April 11, 2024

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අඛණ්ඩව වසර දෙකක් හැකිළීමෙන් පසුව 2024 දී සියයට 1.9ක මධ්‍යස්ථ වර්ධනයක් සහ 2025 දී සියයට 2.5ක මධ්‍යස්ථ වර්ධනයක් වාර්තා කරනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) වාර්ෂික ප්‍රමුඛතම ආර්ථික ප්‍රකාශනය මගින් පුරෝකථනය කර තිබේ.

Asian Development Outlook – April 2024 ප්‍රකාශනය මගින් පෙන්වා දී ඇත්තේ 2023 වසරේ දෙවැනි භාගයේ සිට ශ්‍රී ලංකාව ප්‍රකෘතිමත් වීමේ ලකුණු පෙන්නුම් කරමින් සිටින බවයි.

උද්ධමනය තනි ඉලක්කම් දක්වා අඩු වී ඇති බවත් විදේශ විනිමය සංචිත අඛණ්ඩව ගොඩනැගී ඇති බවත් විනිමය අනුපාතිකය ස්ථාවර කර ඇති බවත් එම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

සංචාරක පැමිණීම් සහ ප්‍රේෂණ ගලා ඒම ප්‍රශංසනීය ප්‍රකෘතියක් පෙන්නුම් කරන අතර සැපයුම් තත්ත්වයන් වැඩිදියුණු වී ඇති බව ද ආසියානු සංවර්ධන බැංකුවේ වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම කාලානුරූපව නිම කිරීම ශ්‍රී ලංකාවේ ණය තිරසාර ප්‍රයත්නයන්ට සහායක් වනු ඇති බව ද එමගින් කියා සිටී.

2023 දී දුෂ්කර ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සහ ආර්ථිකය ස්ථාවර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ප්‍රශංසනීය ප්‍රගතියක් ලබා ඇති බව ශ්‍රී ලංකාව සඳහා වන ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Utsav Kumar පැවසීය.

ශ්‍රී ලංකාව විසින් දුප්පතුන්ට සහ අවදානමට ලක්වූවන්ට ඇති බලපෑම ආමන්ත්‍රණය කිරීම, අර්බුදයේ යටින් පවතින හේතූන් විසඳීම සඳහා ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම, තිරසාර ප්‍රකෘතිය පෝෂණය කිරීම, ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සහ වර්ධනය පුනර්ජීවනය කිරීම සඳහා පදනම දැමීම ඉතා වැදගත් වන බව ද ඔහු පවසයි.

ආසියානු සංවර්ධන බැංකුව පවසන්නේ ආර්ථික ප්‍රකෘතිමත් වීම මධ්‍යයේ දරිද්‍රතා අවදානම්වලට විසඳුම් සෙවීම රට මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් බවයි.

කොවිඩ් වසංගතය සහ පසුව ඇති වූ ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස දරිද්‍රතා ජයග්‍රහණ ඛාදනය වී ගොස් තිබිණි.

ආර්ථිකය ස්ථාවර වන විට, වඩාත් පීඩාවට පත් වූ සහ අවදානමට ලක්විය හැකි ජන කණ්ඩායම්වලට රට සහාය ලබා දෙන බවට සහතික විය යුතු බවත් ඉහළ දරිද්‍රතා සිදුවීම් සහ ආදායම් අසමානතාවට විසඳුම් ලබා දියයුතු බවත් ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙයි.