April 10, 2024

ශ්‍රී ලාංකික භෞතික විද්‍යාඥයෙකු වන රංග ඩයස් ඔහු සේවය කරන අමෙරිකාවේ නිව්‍ යෝර්ක් නුවර පිහිටි රොචෙස්ටර් විශ්ව විද්‍යාලයෙන් පහකිරීමේ සූදානමක් පවතින බව සුප්‍රකට නේචර් සඟරාව අනාවරණය කරයි.

ඒ, ඔහු විසින් සිදු කරන ලද සොයාගැනීමකට අදාළව රොචෙස්ටර් විශ්ව විද්‍යාලයේ මෙහෙයවීම පරිදි සිදුකළ පරීක්ෂණයක ප්‍රතිපලයක් ලෙසයි.

රංග ඩයස් යනු කාමර උෂ්ණත්ව සුපිරි සන්නායකය සොයාගනු ලැබූ විද්‍යාඥයින්ගේ කණ්ඩායමේ සාමාජිකයෙකි.

එම සොයාගැනීමට අදාළ පර්‍යේෂණ සම්බන්ධයෙන් මහාචාර්ය රංග ඩයස් දත්ත නිර්මාණය කර ඇති බවත්, ව්‍යාජ දත්ත ඉදිරිපත් කර ඇති බවත් හා අනුන්ගේ දත්ත සොරාගෙන ඇති බවත් රොචෙස්ටර් විශ්ව විද්‍යාලය සිදුකළ පරීක්ෂණයකදී අනාවරණ වී ඇති බව නේචර් සඟරාව පවසයි.

ඊට අදාළ විමර්ශන මාස 10ක කාලයක් පුරා සිදුකර ඇති අතර එම කටයුතු අවසන් වී ඇත්තේ පෙබරවාරි 08 වනදායි.

විමර්ශන කටයුතු මෙහෙයවා ඇත්තේ රොචෙස්ටර් විශ්ව විද්‍යාලය විසින් බඳවා ගන්නා ලද ස්වාධීන විද්‍යාඥයන් කණ්ඩායමක් විසිනි.

එහිදී මහාචාර්ය රංග ඩයස්ට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා 16 ක් සම්බන්ධයෙන් එම විද්‍යාඥයින් කණ්ඩායම විසින් විමර්ශනය කර ඇතැයි නේචර් සඟරාව පවසයි.

විමර්ශනයේදී විද්‍යාඥයන් පිරිස නිගමනය කර ඇත්තේ ඇතැම් චෝදනා සම්බන්ධයෙන් මහාචාර්ය රංග ඩයස් විෂමාචාරයක් සිදුකර ඇති බවයි.

ඒ අනුව මහාචාර්ය රංග ඩයස්ගේ කොන්ත්‍රාත් කාලය අවසාන වීමට නියමිත 2024 – 2025 අධ්‍යයන වර්ෂය අවසන්වීමට පෙර ඔහුව එම විශ්ව විද්‍යාලයෙන් නෙරපීමට රොචෙස්ටර් විශ්ව විද්‍යාලයේ බලධාරීන් මේවනවිට උත්සහ කරමින් සිටින බව නේචර් සඟරාව අනාවරණ කර ඇත.

නේචර් සඟරාව හෙළිකර ඇති පරිදි රොචෙස්ටර් විශ්වවිද්‍යාලය විසින් මහාචාර්ය රංග ඩයස්ට එරෙහිව චෝදනා ගොනුකර ඇත්තේ මොන්රෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේයි.

අමෙරිකානු අධ්‍යයන පර්යේෂණවල ප්‍රධාන අරමුදල් දායකයෙකු වන ජාතික විද්‍යා පදනම විසින් මහාචාර්ය රංග ඩයස්ට එරෙහි පරීක්ෂණය සිදුකරන ලෙස රොචෙස්ටර් විශ්ව විද්‍යාලයට උපදෙස් ලබා දී ඇතැයි ද නේචර් සඟරාව අනාවරණ කරයි.

එම පදනම විසින් 2021 වසරේදී මහාචාර්ය රංග ඩයස් වෙත අමෙරිකානු ඩොලර් 790,000 වෘත්තීමය ප්‍රදානයක් ද සිදුකර ඇතැයි නේචර් සඟරාව පෙන්වා දී තිබේ.

කෙසේවෙතත් මහාචාර්ය රංග ඩයස්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී අනාවරණ වූ කරුණු සම්බන්ධයෙන් සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නේචර් සඟරාව කල විමසීමට ප්‍රතිචාර දැක්වීම අමෙරිකානු ජාතික විද්‍යා පදනම ප්‍රතික්ෂේප කර තිබේ.

එමෙන්ම තමන්ට එල්ල වන චෝදනා සහ විමර්ශන සම්බන්ධයෙන් නේචර් සඟරාව සිදු කළ විමසීමට මහාචාර්ය රංග ඩයස් ද ප්‍රතිචාර දක්වා නොමැත.