April 9, 2024

‘කොයිනිජියා මොලිස්’ නමින් හඳුන්වන ආක්‍රමණශීලී ශාක විශේෂයක් ශ්‍රී පාද කඳුවැටිය ආශ්‍රිත නිවර්තන වැසි වනාන්තරවල ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කරන ලෙස වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමැති පවිත්‍රාදේවි වන්නිආරච්චි අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබේ.

ජෛව විවිධත්ව සංරක්ෂණය කෙරෙහි අවධානය යොමුකර ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන ලෙසත්, ආක්‍රමණශීලී ශාකය ඉවත් කිරීම සඳහා විද්‍යාත්මක හා තාක්ෂණික ක්‍රමවේද භාවිත කරන ලෙසත් ඇය නිලධාරීන්ට උපදෙස් දී ඇත.

මෙම ආක්‍රමණශීලී ශාකය ශ්‍රී පාදයට පිවිසෙන මාර්ග, කඩ සාප්පු, වැසිකිළි ආශ්‍රිතව ව්‍යාප්ත වී ඇති බව දැනට සොයාගෙන ඇත.

ශාකය ව්‍යාප්ත වී ඇති ප්‍රදේශවල දේශීය ශාක සම්පූර්ණයෙන්ම යටපත් වී විනාශ වී තිබෙන බවද නිරීක්ෂණය වී තිබේ.

සාමාන්‍යයෙන් කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව අඩි 6ත් 8ත් අතර උසකට වැඩෙන විශේෂ ශාකයක් වන මෙහි මූල පද්ධතියේ ස්ථායිතාව ක්‍රමයෙන් දුර්වල කරන බව සබරගමුව විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත.

මෙම දුර්වලවීම කඳු මුදුන්වල ඇති වන නායයෑමේ අවදානම වැඩි කිරීමට දායක වන බව ඔවුන් පෙන්වා දී තිබේ.

මෙම ආක්‍රමණශීලී ශාකය ජෛව විවිධත්වයට දැඩි බලපෑමක් ඇති කරන බව ද තහවුරු වී ඇත.

මෙම ශාකය මියන්මාරයේ සහ නැගෙනහිර හිමාලයේ මුලින්ම දැකගත හැකි වී තිබේ.

එය මේ වනවිට නේපාලය සහ චීනය දක්වා ද ව්‍යාප්ත වී ඇත.

වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර, වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ත එදිරිසිංහ යන පිරිස ද ඇමැතිවරිය සමග මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

මෙම සාකච්ඡාවේදී ඇමැතිවරිය වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇත්තේ ආක්‍රමණශීලී ශාකය ඉවත් කිරීමේ ප්‍රගතිය පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙසයි.

යුනෙස්කෝ, පරිසර සංවිධාන, විශ්වවිද්‍යාල වැනි සංවිධානවල නිලධාරීන්ගෙන් සැදුම්ලත් බුද්ධිමය කමිටුවක් පිහිටුවීමට යෝජනා කරමින් කඩිනම් පියවරක් ගත යුතු බව ද ඇමැතිවරිය සඳහන්කර තිබේ.

42.31%
17.27%
32.76%