April 8, 2024

ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් 2024 වසරේ මාර්තු මස ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් වී තිබේ.

ඒ අයර්ලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් ඇඩෙයාර් සහ නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රි අභිබවා යමිනි.

ඒ අනුව ප්‍රභාත් ජයසූරිය සහ වනිඳු හසරංග යන දෙදෙනාට පසුව මෙම සම්මානය දිනු තෙවැනි ශ්‍රී ලාංකිකයා බවට පත්වන්නේ කමිඳු මෙන්ඩිස්ය.

කමිඳු මෙන්ඩිස් මෙම සම්මානය දකින්නේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ ඔහුගේ අනාගතය සඳහා ලද උත්තේජනයක් ලෙසනි.

“මාසයේ ICC ක්‍රීඩකයා ලෙස නම් කිරීමට ලැබීම ගැන මම අතිශයින් සතුටු වෙනවා. එය මගේ අන්තර්ජාතික ක්‍රිකට් දිවියට උත්තේජනයක් ලෙස සළකනවා. මෙවැනි පිළිගැනීමක් ක්‍රීඩකයන් ලෙස කණ්ඩායමට, රටට සහ ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ වැඩි වැඩියෙන් ක්‍රියා කරන්න අපව දිරිගන්වනවා,” යනුවෙන් කමිඳු මෙන්ඩිස් පවසයි.

තමා සමඟ නම් කළ අනෙක් ක්‍රීඩකයන් දෙදෙනා වන මාර්ක් ඇඩෙයාර් සහ මැට් හෙන්රි විශිෂ්ට ක්‍රීඩකයන් සහ හොඳ තරඟකරුවන් ලෙස තමා සළකන බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

2022 වසරෙන් පසු පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායමට පැමිණි 25 හැවිරිදි කමිඳු මෙන්ඩිස්ට මෙය මතක හිටින නැවත පැමිණීමක් විය.

බංග්ලාදේශයට එරෙහි තරඟ තුනකින් යුත් තරඟාවලියේ දී කමිඳු මෙන්ඩිස් මාසය ආරම්භ කළේ ලකුණු 68ක් ලබාගැනීමට සමත් විය.

එම ප්‍රතිවාදීන්ට එරෙහිව පළමු ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේදීම ශතක රැස් කරමින් සුවිශේෂී දස්කම් දක්වමින් ඔහු ටෙස්ට් ආකෘතියෙන් ද ඉදිරියට පැමිණියේය.

ශ්‍රී ලංකාව ලකුණු 57/5ක් ලෙස දැඩි අසීරුතාවයකට පත්ව සිටියදී පිතිකරණයට පිවිසි ඔහු ධනංජය ද සිල්වා සමගින් ලකුණු 202ක දැවැන්ත සබඳතාවක් ගොඩනැගූ අතර මුළු ලකුණු සංඛ්‍යාව 280ක් දක්වා රැගෙන යමින් කණ්ඩායම ගෞරවනීය තැනකට රැගෙන ගියේය.

එහිදී ඔහු ලකුණු 102ක් ලබා ගැනීමට සමත්විය.

දෙවැනි ඉනිමේ ලකුණු 126/6ක් ලෙසින් තිබියදී අංක 8 ස්ථානයේ පන්දුවට පහරදෙමින් සිටි මෙන්ඩිස් හතරේ පහර 16ක් සහ හයේ පහර 6ක් සමඟින් සිය දිවියේ හොඳම ලකුණු 164ක් රැස් කළේය.

එහිදී මෙන්ඩිස්, එක් ටෙස්ට් තරගයකදී ශතක දෙකක් ලබාගත් ක්‍රීඩකයන් අතරට පැමිණෙන්නේ අංක හතේ හෝ ඊට පහළින් පන්දුවට පහර දෙන පළමු ක්‍රීඩකයා බවට ද පත්වෙමිනි.

 

42.31%
17.27%
32.76%