April 7, 2024

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි පොදු අපේක්ෂකයා ලෙස අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජේදාස රාජපක්ෂ ඉදිරිපත් විය හැකි බවට ඉඟි පළවී තිබෙන බවට Ceylonwire.lk මුල්වරට අනාවරණය කරන ලද්දේ 2023 නොවැම්බර් 13 වැනිදාය.

එහිදී අප හෙළිකරන ලද්දේ, හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ ප්‍රමුඛ පාර්ශ්වය සමග එක්ව ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ඔහු සාකච්ඡා පවත්වා ඇතැයි දැනගන්නට ඇති බවය.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජේදාස රාජපක්ෂ ඉදිරිපත් විය හැකි බවට පුළුල් මතපළ විය.

ශ්‍රීලනිප වත්මන් ගැටුමට සති කිහිපයකට පෙර ඔහු එම පක්ෂ මුලස්ථානයේදී, පක්ෂ නායකයන්ට දේශනයක්ද සිදුකළේය.

කෙසේවෙතත් බහුතරයක් ශ්‍රීලනිප නායකයන්ගෙන් එහිදී විජේදාස රාජපක්ෂට ප්‍රසාදයක් නොදැක්වූ බව වාර්තා විය.

මේ අතර, ජනාධිපති අපේක්ෂකයකු විජේදාස රාජපක්ෂ ඉදිරිපත් වීමට සුදානම් නම් ඔහුට සහාය ලබාදීමට විමල් විරවංශ ඇතුළු කණ්ඩායම කැමැත්ත පළකර ඇති බවද දැනගන්නට ඇත.

මේ සියල්ල මධ්‍යයේ පසුගිය සිකුරාදා රාත්‍රියේ, විජේදාස රාජපක්ෂ කොළඹ හිල්ටන් හෝටලයේ බෝල්රූම් හි අති උත්කර්ෂවත් කොක්ටේල් සහ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීය.

එහි ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහය.

විජේදාසගේ වසර 40ක නීතිඥ ජීවිතය පිළිබඳ දීර්ඝ චිත්‍රපටයක් තිරගත විය.

ජනාධිපතිවරයා එහිදී විජේදාස පසසමින් කතාවක්ද කළේය.

 

42.31%
17.27%
32.76%