April 6, 2024

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන්ට එරෙහිව ලබාගත් වාරණ නියෝගය අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණ විනිසුරු සඳුන් විතාන නියෝගයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති සහ ලේකම්වරයා වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරුන් විසින් මෝසමක් මගින් ගොනුකරන ලද හදිසි ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන්න් මෙම වාරණ නියෝගය අත්හිටුවමින් අධිකරණය එම නියෝගය නිකුත් කර ඇත.

එම සංගමය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ අන්තර් පාසල් I කොටසේ දෙදින ක්‍රිකට් තරඟාවලියේ කොටසක් ලෙස පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරඟ පැවැත්වීම වළක්වමින් 2024 මාර්තු 25 වන දින පැමිණිලිකරුවන් අදාළ වාරණ නියෝගය ලබාගෙන තිබිණි.

එය සංස්ථාපිත නොවන සංගමයක් බවත්, පැමිණිලිකරුවන්ගේ ක්‍රියාකලාපයෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයට, එහි සාමාජිකයන්ට, පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ට සහ ඔවුන්ගේ අධ්‍යාපනයට බරපතළ හා ආපසු හැරවිය නොහැකි හානියක් සිදුවන බවත් විත්තිකරුවන් අධිකරණයේ අවධානයට යොමුකර තිබේ.

ඇතැම් පැමිණිලිකරුවන් ප්‍රකාශ කර තිබුණේ, තමන් 2023/24 වසර සඳහා පැවැත්වෙන ඉහත කී ක්‍රිකට් තරගාවලියේ නියැලී සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් හා තරගාවලියට සම්බන්ධ පාසල් කිහිපයක් නියෝජනය කරන ක්‍රීඩකයන් බවයි.

පාසල් හතරක ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු විසින් ඊට අදාළව නඩු කිහිපයක් ගොනුකර තිබූ අතර ඔවුන්ගේ නීතිඥවරයා විසින් ඒවා කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කර තිබිණි.

ඉවත්කිරීමේ තරග ක්‍රීඩා පවත්වමින් කණ්ඩායම් හතරක් පහත හෙළීම අසාධාරණ බව පවසමින් ඊට සහනයක් ඉල්ලා එම නඩු පවරා ඇත.