April 5, 2024

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කොලොන්නාව නිමාවෙන් ගැලුම් 33,000ක් පමණ වන කළු තෙල් පිරවූ දුම්රිය බෝගියක් ඉන්වොයිස් පත්‍ර නොමැතිව අඹේවෙල කිරි නිෂ්පාදනාගාරයට යොමුකර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අඹේවෙල මිල්කෝ ආයතනයේ කිරි නිෂ්පාදනාගාරය මගින් ඉල්ලුම් කරන ලද කළු තෙල් ඇණවුමකට අනුව දුම්රිය දෙපාර්තමේන්තුව මගින් මෙම බෝගිය කොලොන්නාවේ සිට ප්‍රවාහනය කර ඇත.

කෙසේවෙතත් ඇණවුම කරන අවස්ථාවේ මුදල් මිල්කෝ ආයතනයේ ගිණුමේ පැවතියත් ඉන්ධන පිරවුම් කටයුතු සඳහා පිරවුම් පත්‍රිකා අවසරපත නිකුත්කරන අවස්ථාවේ එම ආයතනයේ ගිණුමේ ඇණවුමට අදාළව ප්‍රමාණවත් මුදල් නොමැති වීම හේතුවෙන් කළු තෙල් පුරවන ලද දුම්රිය බෝගිය ඉන්ධන පුරවන ගැන්ටිය අසල දුම්රිය මාර්ගයේ ගාල්කර තබා තිබී ඇති බව වාර්තා වේ.

මේ අතර පසුගිය දිනක බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසා තිබුණේ ඛනිජ තෙල් ගබඩා කිරීමේදී සහ බෙදා හැරීමේදී පසුගිය වසරේ සිදුව ඇති අලාභය රුපියල් බිලියන 28ක් පමණ වන බව වෝහාරික විගණන වාර්තාවකින් පෙන්වා දී ඇති බවයි.

වර්තමාන දත්ත පද්ධතිය ඔස්සේ ඉන්ධන බෙදා හැරීමට අදාළව ඇණවුම් නිකුත් කිරීම ,ඉන්ධන ගබඩා කිරීමේ පත්‍රිකා නිකුත් කිරීම, බැහැර යෑමේ ඉන්වොයිස් පත්‍ර නිකුත් කිරීම පද්ධතිය තුළ ක්‍රමවත් ආකාරයෙන් සිදුවී නොමැති බවද ඔහු ප්‍රකාශ කර තිබිණි.

වසර දොළහකට වඩා පැරණි මෙම දත්ත පද්ධතියට ආරක්‍ෂිත අමතර පද්ධතියක් (බැකප් පද්ධතියක්) පවත්වාගෙන නොමැති බවත් එමගින් පද්ධතිය ඔස්සේ සිදුවන දූෂිත අක්‍රමිකතා පිළිබඳ සොයා ගැනීමට යම් අපහසුතාවක් පවතින බවත් දත්ත පද්ධති අංශයේ විශ්‍රාමික නිලධාරියකු ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

කෙසේවෙතත් විෂය භාර ඇමැතිවරයා සිදු කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශයන්ට අනුව මෙම වෝවහාරික විගණනය සිදුකිරීමෙන් පසුත් මෙවැනි අතපසුවීම් මත හෝ පද්ධතියෙන් සිදුවන දෝෂ හඳුනාගෙන නිවැරදි කිරීමට දත්ත පද්ධති අංශයේ වගකීම් දරන නිලධාරීන් කටයුතු නොකරන්නේ මන්ද යන්න ගැටලුවක් බව සේවකයෝ පවසති.

මුදල් අංශයේ නිලධාරීන් පවසන්නේ මෙම යල් පැන ගිය දත්ත පද්ධතිය ක්‍රමවත්ම පවත්වාගෙන යෑමට වර්තමාන දත්ත පද්ධති අංශයේ ඉහළ නිලධාරීන්ට හැකියාවක් නොමැති අතර එමගින් ඉන්ධන වංචා සහ මූල්‍යමය අක්‍රමිකතා සිදු කිරීමට විශාල ඉඩක් පවතින බවයි.

42.31%
17.27%
32.76%