April 1, 2024

යල් පැන ගිය චිත්‍රපට සංස්ථාව නවීන තාක්ෂණය සමඟ පරිවර්තනයකට ලක් කරමින් එය මෙරට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය සංවර්ධන ආයතනයක් ලෙස ගොඩනඟන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යෑමට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය කලාව සූදානම් කළ යුතු බවත් ඒ සමඟම කලා ශිල්පීන් සහ නිර්මාණවේදීන් නවීන තාක්ෂණ දැනුමෙන් සවිබල ගැන්වීම සඳහා විදෙස් පුහුණු අවස්ථා සලසා දෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය අද ලෝක චිත්‍රපට කලාවට එක්වී තිබෙන අතර ඒ සමඟ ඉදිරියට යමින් ශ්‍රී ලංකාවේ ද පළමු AI චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවති 20 වැනි රයිගම් ටෙලීස් සම්මාන උළෙල අමතමිනි.

දිවයිනේ කීර්තිමත් ව්‍යවසායකයකු වන රයිගම් සමූහ ව්‍යාපාරයේ අධිපති ආචාර්ය රවී ලියනගේගේ සංකල්පයක් මත රයිගම් ටෙලීස් මහලේකම් කාර්යාලය වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධාන කරයි.

සම්මාන උළෙල ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේ ද පැවසීය,

“පසුගිය විසි වසර තුළ රූපවාහිනිය තුළ දැවැන්ත විප්ලවයක් සිදුව තිබෙනවා. ජංගම දුරකථනය, ලැප් ටොප් පරිගණකය සමඟ අද රූපවාහිනිය අභියෝගයකට ලක්ව තිබෙනවා. අද Netflix, Amazon සමඟ ලෝකය ඉදිරියට යනවා. අපත් මේ සමඟ ඉදිරියට යා යුතුයි. අද අනෙකුත් රටවල් භාෂා ගණනාවකින් චිත්‍රපට නිර්මාණය කරනවා. ග්‍රීසිය වැනි කුඩා රටවලද එය සිදු වෙනවා. අපත් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.

ඒ නිසා යල් පැන ගිය චිත්‍රපට සංස්ථාව නවීකරණය කර චිත්‍රපට සහ ටෙලි නාට්‍ය සංවර්ධන ආයතනයක් බවට පරිවර්තනය කිරීමට අපගේ අවධානය යොමුව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය දැනුම ලබාදීමට අප කටයුතු කරන බව කිවයුතුයි. රූපවාහිනිය ආරම්භ කරන විට විශාල පිරිසකට ජපානයේ පුහුණු අවස්ථා ලබා දුන්නා. එම යුගයේ යශෝරාවය වැනි නව ටෙලි නාට්‍ය නිර්මාණය වීමට එය හේතු වුණා. අප නුදුරේදීම නැවත ඒ සඳහා කටයුතු කරන බවද මෙම මෙහිදී සිහිපත් කරනවා.

ඒ වගේම කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය පසුගිය වසරේ සිට චිත්‍රපට කලාවට එක් වී තිබෙනවා. The Frost කෙටි චිත්‍රපටිය නිර්මාණ කර තිබෙන්නේ AI තාක්ෂණයෙන්. එම චිත්‍රපටවල තිර පිටපත පවා සකස් කර තිබෙන්නෙත් AI තාක්ෂණයෙන්. ඒ වගේම ඉන්දියාව Maharaja in Denims නිර්මාණය කරමින් සිටිනවා. එය ලංකාවටත් එනවා. අපත් මීට සූදානම් විය යුතුයි.

කෘත්‍රිම බුද්ධිය ලංකාවට හඳුන්වාදීම පිළිබඳ දැනට අප පත් කර තිබෙන කමිටුවට මම උපදෙස් ලබා දී තිබෙනවා මොරටුව විශ්වවිද්‍යාලය සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලය සම්බන්ධ කර ගනිමින් ලංකාවේ පළමු AI චිත්‍රපටය නිෂ්පාදනය කරන්න කියලා. ඒ සඳහා රජයෙන් මුදල් ලබාදීමට කටයුතු කරන බව කිවයුතුයි.

මේ අයුරින් අපි නොසිතන ලෙස චිත්‍රපට කර්මාන්තය වෙනසකට ලක්වෙමින් තිබෙනවා. චිත්‍රපට සංස්ථාව නවීකරණය කරමින් සහ පළමු AI චිත්‍රපටය නිර්මාණය කරමින් අපි අලුත් ගමනකට මුල පුරමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා.”