April 1, 2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ දේශපාලන සන්ධානයක් පිහිටුවීම යළිත් ප්‍රමාද වීමට ඉඩ ඇති බව වාර්තා වේ.

කැබිනට් හා රාජ්‍ය ඇමැති ධුර දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එවැනි සන්ධානයකට සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් අනෙකුත් දේශපාලන පක්ෂ විරෝධය පළ කිරීම මීට එක් හේතුවක් බව ද දැනගන්නට තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව දේශපාලන සන්ධානයක් පිළිබඳ පසුගිය මාස කිහිපය පුරා සාකච්ඡා කෙරුණ ද එවැනි සන්ධානයක් තවමත් ගොඩනැගී නොමැත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස කියා සිටියේ ජාතික හා ප්‍රාදේශීය මට්ටමින් ශ්‍රීලනිප ප්‍රධාන සාමාජිකයන් සහභාගී වූ සෙනසුරාදා (30) රැස්වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයක් පිහිටුවීමට අදාළ කරුණු සාකච්ඡා කළ බවයි.

“අපි දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී සහ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක, හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේනට ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයකට එක්වීමට කැමති ඇතැම් පාර්ශ්ව විරෝධය පළ කර ඇති බව. නමුත් අපේ පාක්ෂිකයෝ වෙන කෙනෙක් නායකත්වය දෙන සන්ධානයකට යන්නේ නැහැ. අපේ සැලැස්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයක් පිහිටුවීමයි, ඒ නිසා එහි නායකත්වය ඔහුට (සිරිසේන) දිය යුතුයි.” යනුවෙන් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස කියා සිටියේය.

ආණ්ඩුවේ කැබිනට් හා රාජ්‍ය ඇමැති ධුර දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ඊට එක්වන්නේ නම් තමන් ඊට එක් නොවන බවට එම සන්ධානයට එක්වීමට කැමැත්තෙන් සිටින ඇතැම් දේශපාලන පක්ෂ දන්වා ඇති බවද ඔහු සඳහන් කළේය.

“අපි ආණ්ඩුවට විරුද්ධව හදන්න යන්නේ විපක්ෂ දේශපාලන බලවේගයක්. ආණ්ඩුවේ මන්ත්‍රීවරු කොහොමද මේ වගේ බලවේගයක ඉන්නේ? ඒ නිසා තමයි එවැනි මන්ත්‍රීවරුන් මේ සන්ධානයට සම්බන්ධ කර ගැනීමට මේ පක්ෂ විරුද්ධ වෙලා තියෙන්නේ,” ඔහු පැහැදිලි කළේය.

ඉදිරි දිනවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ලංකා සමසමාජ පක්ෂය වැනි දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා ආරම්භ කරන බවද මහාචාර්ය පියදාස වැඩිදුරටත් පැවසීය.

ආණ්ඩුවට සහය දක්වන මන්ත්‍රීවරුන් සම්බන්ධ කර නොගෙන ඉදිරියට යනවාද යන්න පිළිබඳ කළ විමසීමකදී ඔහු කියා සිටියේ එවැනි මන්ත්‍රීවරුන් ආණ්ඩුවෙන් ඉවත්වීමට අකමැති නම් දැනට තිබෙන හොඳම විකල්පය එය බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයක් පිහිටුවන බවත් එය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මෛත්‍රීපාල සිරිසේන විසින් මෙහෙයවනු ඇති බවත් මුලින් වාර්තා වූ නමුත් එවැනි වාර්තා ප්‍රතික්ෂේප කළ හිටපු ජනාධිපතිනිය කියා සිටියේ තමන් කිසිදු දේශපාලන පක්ෂයකට හෝ සන්ධානයකට සහය දැක්වීමට මෙතෙක් තීරණය කර නොමැති බවයි.

(The Daily Morning)

42.31%
17.27%
32.76%