March 28, 2024

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ සමත් විය.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව හයිද්‍රාබාද් හි රජිව් ගාන්ධි ක්‍රීඩාංගණයේදි පැවති තරගයේදි සන්රයිසස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 03ට ලකුණු 277ක් රැස්කරන ලදී.

මීට පෙර ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාව රෝයල් චැලෙන්ජ් බැංග්ලොර් කණ්ඩායම 2013 වසරේදි පිහිටුවා තිබුණේ පන්දුවාර 20 තුළ කඩුලු 05කට ලකුණු 263ක් වාර්තා කරමිනි.

ඊයේ තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 246කට සීමා වීම හේතුවෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 31ක ජයක් වාර්තා කිරීමට සමත් විය.

මෙම තරගයේදි කණ්ඩායම් දෙකේම පිතිකරුවන් හයේ පහරවල් 38ක් එල්ල කළ අතර එය අයි.පි.එල් සහ පන්දුවාර 20 පිටියේ තරගයක වාර්තා වූ වැඩිම හයේ පහරවල් එල්ල වූ තරගය ලෙස ද මෙම තරගය ක්‍රිකට් පොතට එක්විණි.

කණ්ඩායම් දෙකම ලකුණු 523ක් වාර්තා කර තිබූ හෙයින් මෙම තරගය අයි.පි.එල්. මෙන්ම පන්දුවාර 20 පිටියේ තරගයක වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ද සනිටුහන් විය.

සන්රයිසස් හයිද්‍රාබාද් වෙනුවෙන් වේගවත් ඉනිමක් දියත් කළ අභිෂෙක් ෂර්මා පන්දු 24කින් ලකුණු 62ක් ලබා ගත්තේ පන්දු 16කින් අර්ධ ශතකය වාර්තා කරමිනි.

හෙන්රික් ක්ලාසින් පන්දු 34කදි ලකුණු 80ක් ලබා ගෙන තිබිණි.

මුම්බායි කණ්ඩායමේ තිලක් වර්මා පන්දු 34කින් ලකුණු 64ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකාවේ ඩිල්ශාන් මධුශංක අබාධයකට ලක්ව වීම හේතුවෙන් මුම්බායි පිලට කැඳවූ දකුණු අප්‍රිකාවේ යොවුන් ක්‍රීඩක ක්වෙනා මපාකා මෙම තරගයේ දී අයි.පි.එල් වරම් දිනා ගැනීමට සමත්විය.

කෙසේනමුත් ඔහුට එරෙහිව සන්රයිසස් පිතිකරුවන් ලකුණු 66ක් ලබා ගත් අතර එය අයි.පි.එල් තරගාවලි ඉතිහාසයේ පන්දු යවන්නකුට එරෙහිව කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සනිටුහන් විය.