March 28, 2024

රුසියානු – යුක්‍රේන යුද්ධය සඳහා එක්ව සිටි තවත් ශ්‍රී ලාංකික හිටපු හමුදා සෙබළෙක් යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් මියගොස් ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙලෙස මියගොස් ඇත්තේ නිපුන සිල්වා ලෙස හඳුන්වන 27 හැවිරිදි අයකු බවයි.

පවතින ආර්ථික ගැටලු මත, ශ්‍රී ලංකාවේ වාසය කරන තම පවුල ජීවත් කරවීම සඳහා ඔහු රුසියානු – යුක්‍රේන යුද්ධය සඳහා රුසියානු හමුදාව සමග එක්ව ඇති බව මේ වන විට හෙළිවී තිබේ.

හමුදා වැටුප සිය පවුල ජීවත්කරවීම සඳහා ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඔහු හමුදාවෙන් ඉවත් වී වෙනත් රැකියාවක නිරතවීමට තීරණය කර ඇත.

ඒ අනුව ඔහු රුසියානු හමුදාව සමග එක්වීමට පෙර වෙනත් රැකියාවක් සඳහා සිංගප්පූරුව බලා ගොස් තිබූ අතර එහිදී නියමිත පරිදි රැකියාවක් සහ වැටුප් නොලැබීම හේතුවෙන් රැකියා ඒජන්සියක් මගින් රුසියාව බලා පැමිණ තිබුණේ ගොවිපොළක රැකියාවක් වෙනුවෙනි.

එහෙත් නියමිත පරිදි ආහාරවේලක් හෝ නොමැතිව දිනකට පැය 14ක් පමණ දුෂ්කර ලෙස සේවය කිරීමට සිදු වීම හේතුවෙන් ඔහු එම ගොවිපොළෙන් ඉවත් වී ඊට වඩා අඩු වැටුපක් ලැබෙන හෝටල් ක්ෂේත්‍රයේ වෙනත් රැකියාවකට යොමු වී තිබේ.

එමගින් ලැබෙන වැටුප තමන් ශ්‍රී ලංකාවේ දී ගෙන ඇති ණය ගෙවීමට සහ පවුල ජීවත් කරවීමට ප්‍රමාණවත් නොවීම නිසා ඔහු සිය බිරිඳට දැනුම්දී ඇත්තේ රුසියානු – යුක්‍රේන යුද්ධය සඳහා රුසියානු හමුදාව සමග එක්වීමට තීරණය කළ බවයි.

රුසියානු හමුදාව සමග එක්වූ නිපුන…

බිරිඳ ඊට දැඩි ලෙස විරුද්ධ වුවද නිපුන මේ වසරේ ජනවාරි මාසයේ දී රුසියානු – යුක්‍රේන යුද්ධය සඳහා රුසියානු හමුදාව සමග එක්වීමට ගිවිසුම් අත්සන් කර ඇත.

ඔහුගේ බිරිඳ පවසන පරිදි රුසියානු හමුදාව සමග එක්වීමෙන් පසු ඔහු පුහුණු වැඩසටහන් දෙකකට සහභාගී කරවා ඇති අතර ඉන් අනතුරුව යුද පෙරමුණට යොමුකර තිබේ.

නිපුන ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටියදී …

යුද පෙරමුණට යොමුකළ දිනයේ සිට සෑම දිනකම ඔහු දුරකථනයෙන් තමා ඇමතූ බව නිපුනගේ බිරිඳ පවසයි.

එම දුරකථන ඇමතුම් නැවතී ඇත්තේ පසුගිය පෙබරවාරි 21 වැනිදා සිටය.

ඉන් දින කිහිපයකට පසු නිපුනගේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ සේනක බණ්ඩාර නමැති තවත් ශ්‍රී ලාංකිකයකු නිපුනගේ බිරිඳට දුරකථන ඇමතුමක් දෙමින් දන්වා ඇත්තේ නිපුන ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය ගිය බවයි.

එම ඇමතුම හැරෙන්නට නිපුනගේ මරණය පිළිබඳ වෙනත් කිසිදු නිල පණිවුඩයක් රුසියාවෙන් තමන්ට ලැබී නොමැති බව නිපුනගේ බිරිඳ පවසයි.

සේනක බණ්ඩාර පවසා ඇති පරිදි නිපුන සහ ඔහු බංකර රාජකාරී සඳහා යොමුකර සිටියදී ඔවුන් මෙම ඩ්‍රෝන ප්‍රහාරයට ලක්ව තිබේ.

ඉන් දෙදෙනාම තුවලා ලැබුව ද නිපුනගේ තත්ත්වය බරපතළ වූ බැවින් සේනක විසින් නිපුන ඔසවාගෙන පැමිණෙමින් සිටියදී නැවත වරක් ඔවුන් ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව ඇත.

එහිදී නිපුන දමා ඒම හැර තමන්ට වෙනත් විකල්පයක් නොතිබුණු බව සේනක ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් නිපුන මිය ගියද සේනක ප්‍රකාශ කරන පරිදි ඔහුට වන්දි ලැබේ ද යන්න පිළිබඳ සහතිකයක් ඔවුන්ට නැත.

රුසියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පවසන පරිදි දැනටමත් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාව සමග එක්ව සිටින්නේ තමන් යුද්ධයේ දී මිය ගිය ද ලැබෙන වන්දිමුදල්වලින් තම පවුල් හෝ ජීවත්වනු ඇති බවට ඔවුන් තුළ ඇති විශ්වාසය හේතුවෙනි.

එහෙත් නිපුනගේ පවුලේ අයට එම සහනය හෝ ලැබෙන්නේද යන්න සම්බන්ධයෙන් දැන් පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකි.

නිපුනගේ බිරිඳ ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් සොයා බලා තමන්ට තොරතුරක් දන්වන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශයෙන් කළ ඉල්ලීමට මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.

දැනට ඇති දත්ත අනුව නිපුන යනු රුසියානු පාර්ශ්වයෙන් යුද්ධය සඳහා එක්ව මියගිය දෙවැනි ශ්‍රී ලාංකිකයායි.

ඊට අමතරව යුක්‍රේනය වෙනුවෙන් යුද වැදුණු ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ද මේ වනවිට ගැටුම්වලදී මියගොස් තිබේ.

කපිතාන් රනේෂ් හේවගේ යුක්‍රේනය වෙනුවෙන් ඉකුත් දෙසැම්බර් මාසයේ දී මියගිය අවසන් ශ්‍රී ලාංකිකයායි.

කපිතාන් රනේෂ් හේවගේ

මේ කිසිවක් නොදන්නා මාස 18ක් වයසැති සිය පුතු පියාගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනතුරු තවමත් බලා සිටින බව නිපුනගේ බිරිඳ පවසයි.

42.31%
17.27%
32.76%