March 27, 2024

බරපතළ සෞඛ්‍ය උවදුරුවලට තුඩු දිය හැකි ලියාපදිංචි නොකළ චර්ම ප්‍රතිකාර ඖෂධ රූපලාවණ්‍ය ද්‍රව්‍ය ලෙස දේශීය වෙළෙදපොළෙන් තොග වශයෙන් සොයාගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ දැනුම්දීමකට අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් කොළඹ ප්‍රමුඛ පෙළේ රූපලාවණ්‍ය අලෙවිසැල් කිහිපයක් ඊයේ සෝදිසි කළේ ඔවුන් විසින් අලෙවි කරන ලියාපදිංචි නොකළ චර්ම ප්‍රතිකාර ඖෂධයක් සොයා ගැනීමටය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසුවේ පිටකොටුව වෙළෙඳපොළේ තොග වෙළෙඳසල්වලින් මෙම භාණ්ඩ මිලදී ගත් බව රූපලාවණ්‍ය අලෙවිසැල් හිමියන් පවසා ඇති බවයි.

ලැබුණු තොරතුරක් මත කතිරේසන් වීදියේ රූපලාවණ්‍ය ද්‍රව්‍ය තොග අලෙවි කරන ප්‍රධාන තොග වෙළෙඳුන් දෙදෙනකු වැටලූ නිලධාරීන් විසින් එවැනි චර්ම ප්‍රතිකාර ඖෂධ 470කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

එම ඖෂධ අලෙවි කළ යුත්තේ බෙහෙත් වට්ටෝරුවලට යටත්ව මිස සරල රූපලාවණ්‍ය ද්‍රව්‍යයක් ලෙස නොවන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

දෛනිකව ඉන්දියාවට යන දේශීය වෙළෙන්දන් මෙම ලියාපදිංචි නොකළ ඖෂධ අතින් රැගෙන මෙරටට ඇතුළු වීමට සමත්ව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

ඖෂධීය කොටස් තුනකින් සමන්විත එවැනි ඖෂධ වර්ග කිහිපයක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එකක් ස්ටෙරොයිඩ් කාණ්ඩයට වේ.

එහි ආවරණයේ සඳහන් කර ඇති රසායනික සංඝටක වන්නේ Hydroquinone, Tretinoin සහ Mometasone Furoate cream වේ.

ස්ටෙරොයිඩ් ඇතුළු චර්ම රෝග සඳහා වන ඖෂධ වෛද්‍ය උපදෙස් යටතේ දැඩි ලෙස භාවිත කළ යුතු අතර එය සමට බරපතළ බලපෑම් ඇති කළ හැකි බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරියා පැවසීය.

“නගරයේ රූපලාවණ්‍ය අලෙවිසැල්වල රාක්කවල ඇති මෙම බෙහෙත් වර්ග වෙනත් සම පැහැපත් කරන හෝ පිරිසිදු කිරීමේ නිෂ්පාදනයක් යැයි සිතා ඒවා මිල දී ගෙන ආලේප කිරීමට නොසැළකිලිමත් පාරිභෝගිකයන් පොළඹවනවා, ඒවායෙන් ඔවුන්ගේ සමට බරපතළ සංකූලතා ඇති කළ හැකියි,” ඔහු පැවසීය.

“චර්ම රෝග විශේෂඥයන්ගේ සංගමයට මෙම නිෂ්පාදන හේතුවෙන් ඇති වූ සංකූලතා පිළිබඳ පැමිණිලි කිහිපයක් දැනටමත් ලැබී තිබෙනවා. අපි අපගේ පරීක්ෂණ දිගටම කරගෙන යනවා ” යනුවෙන් එම නිලධාරියා පැවසීය.

ශ්‍රී ලංකා චර්ම රෝග විශේෂඥයන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍රියානි සමරවීර කියා සිටියේ මෙම ඖෂධ සති හයක කාලයක් වෛද්‍ය උපදෙස් මත භාවිත කළ යුතු බවත් දිගින් දිගටම භාවිත කිරීම පිළිකා තත්ත්වයට හේතු විය හැකි බවත්ය.

“මේ වන විට ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි වී ඇත්තේ එවැනි ඖෂධ වර්ග එක සන්නාමයක් පමණයි. ඒවා අලෙවි කිරීමට අවසර ඇත්තේ විලවුන් හෝ රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවිසැල් හරහා නෙවෙයි ෆාමසි හරහායි. Melasma නම් සමේ වර්ණක ආබාධ සඳහා ප්‍රතිකාර කිරීම සඳහා මෙම ඖෂධය භාවිත කරනවා. නියමිත කාලසීමාවට වඩා භාවිත කිරීමෙන් බරපතළ සමේ සංකූලතා ඇති වෙන්න පුළුවන්, “යනුවෙන් ඇය පැවසුවාය.

42.31%
17.27%
32.76%