March 26, 2024

තම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවට(COPE) නම් නොකිරීමට සහ එය වර්ජනය කිරීමට සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය තීරණය කර තිබේ.

ඒ එහි සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පත් කිරීමට තවදුරටත් විරෝධය පළ කරමිනි.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කියා සිටියේ නව සභාපතිවරයෙකු පත් කරන තුරු තවදුරටත් කෝප් රැස්වීම වර්ජනය කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇති බවයි.

කෝප් කමිටුවේ පාරදෘශ්‍යභාවය සහ ඵලදායිතාව සහතික කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරයකු කෝප් කමිටු සභාපතිවරයා ලෙස පත් කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

රෝහිත අබේගුණවර්ධන කෝප් කමිටු සභාපති ලෙස පිළිගැනීමට සමගි ජන බලවේගය සුදානම් නැති බව පැවසූ තිස්ස අත්තනායක වැඩිදුරටත් කියා සිටියේ පුරප්පාඩු වන තනතුරු සඳහා තම සාමාජිකයන් කිසිවකු පත් කිරීමට සමගි ජන බලවේගයේ නායකත්වයට අවශ්‍ය නොවන බවයි.

එම පත්කිරීමට එරෙහිව හඬ නැගූ පළමු පාර්ශවය සමගි ජන බලවේගය බවත් එම නිසා රෝහිත අබේගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කෝප් කමිටු රැස්වීමක අසුන් ගැනීමට සමගි ජන බලවේගයට අවශ්‍ය නොවන බවත් ඔහු පැවසීය.

විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් නගන ප්‍රශ්න නොසළකා හරිමින් විපක්‍ෂය නියෝජනය නොකර කෝප් කමිටු රැස්වීම් රජය ගෙන යන ආකාරය දැකීම ලැජ්ජාවට කරුණක් බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර, ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික සහ කෝප් කමිටු හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති ද ප්‍රකාශ කළේ ‘සුදුසු’ මන්ත්‍රීවරයකු සභාපතිත්වයට පත් කරනතුරු තම පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකු කෝප් කමිටුවට පත් නොකරන බවයි.

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සැසිවාරය සඳහා කෝප් කමිටු පළමු රැස්වීම මේ මස මුලදී පාර්ලිමේන්තුවේදී පැවැති අවස්ථාවේදී කෝප් කමිටු සභාපතිවරයා ලෙස රෝහිත අබේගුණවර්ධන නම් කර තිබිණි.

ඔහු සභාපති ධුරයට පත්වීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 11 දෙනෙකු කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉවත් විය.

42.31%
17.27%
32.76%