March 25, 2024

විශේෂ සහතික පත්‍රයක් ලබාගැනීම සදහා ස්විට්සර්ලන්තයේ රසායනාගාරයකට යැවූ කිලෝග්‍රෑම් පන්සියදහයක් බරැති මැණික් පාෂාණය නැවත මෙරටට ගෙන ඒමේ දී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය අදාළ බලපත්‍රලාභියාගෙන් රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් අයකර ගැනීම පැහැරහැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සදහන් වේ.

අයිතිකරු මෙම මැණික් පාෂාණය රුපියල් කෝටි 203කට තක්සේරු කර තිබූ බව ද එහි දැක්වේ.

පාෂාණ තක්සේරු සහතික පත්‍රයක් ලබාගැනීම සඳහා ස්විට්සර්ලන්තයේ ගැබ්ලින් රසායනාගාරයට යවා දින 443 කට පසු නැවත මෙරටට ගෙන ඒමේ දී නැව්ගත වටිනාකමින් සියයට එකක් අදාළ බලපත්‍රලාභියාගෙන් අයකර ගත යුතු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර රත්නපුර මැණික් කෞතුකාගාරය ඉදිකිරිමේ වැඩකටයුතු අතරමග නතර කිරීමෙන් ඒ සඳහා වැයකෙරුණු මුදල නාස්ති වී ගොස් තිබූ බව විගණන විමර්ශනවල දී හෙළි වී ඇත.

රුපියල් දෙලක්ෂ පනස්දහසක් වියදම් කර එහි තත්ව සහතික වාර්තාවක් පමණක් සකස් කර තිබූ බව එම වාර්තාව සඳහන් කරයි.

මෙම තොරතුරු සඳහන් වන්නේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.(ලංකාදීප)

42.31%
17.27%
32.76%