March 22, 2024

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය සිල්හෙට් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 9.30ට ආරම්භ වෙයි.

අත්දැකීම් බහුල පළපුරුදු ක්‍රීඩකයන් කිහිපදෙනකුම සිටින ශ්‍රී ලංකා පිලෙන් නවක මුහුණු රැසක් ඇති බංග්ලාදේශ පිලට තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී ප්‍රබල තර්ජන ගෙනදෙනු ඇතැයි ක්‍රිකට් විචරක මතය වේ.

ටෙස්ට් තරග 107කට ක්‍රීඩා කොට ඇති ඇන්ජලෝ මැතිව්ස්, පිළිවෙළින් ටෙස්ට් තරග 89කට හා 77කට මුහුණදී සිටින දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා පිලට වඩාත් ශක්තිමත් ස්ථාවරයක් සපයනු ඇතැයි බංග්ලාදේශ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා විශ්වාසය පළකොට සිටී.

“ශ්‍රී ලංකාවට පළපුරුදු පිතිකරණ ලැයිස්තුවක් තිබෙනවා. ඔවුන් ප්‍රබල පාර්ශ්වයක්. මැතිව්ස් විතරක් ටෙස්ට් තරග 100කට වැඩියෙන් ක්‍රීඩා කොට තිබෙනවා. ප්‍රතිවාදීන්ගේ සීමාව සහ අපේ ශක්තිය සැලකිල්ලට ගත්තොත් මේක නවසීලන්ත ටෙස්ට් තරගාවලියට වඩා ලොකු අභියෝගයක් වේවි” හතුරුසිංහ මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය වසර 2001 සිට ටෙස්ට් තරග 24ක් පවත්වා එයින් තරග 18ක ජය ශ්‍රී ලංකාව සතුකර ගත්තේය. දෙරට ටෙස්ට් බිමේ හමුවී වසර 16කට පසු බංග්ලාදේශය එකම ටෙස්ට් ජයග්‍රහණය පී. සරා ඕවල් පිටියේදී වාර්තා කිරීමට සමත් විය. තරග 5ක් ජය පරායෙන් තොරව නිමාවට පත්ව ඇති අතර, එයින් තුනක්ම චිතොග්‍රොම් හිදී නිමාවට පත් විය.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට මුල්වරට තුන් ඉරියව් ක්‍රීඩක නිශාන් පීරිස් කැඳවා ඇති අතර, වේග පන්දු යවන ළහිරු කුමාර ද යළි සංචිතයට එක්ව සිටී. ඇඟිල්ලක ඇතිවූ ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශයේ මුෂ්ෆිකර් රහීම් ක්‍රීඩා නොකරන අතර, ටෙස්ට් වරම් දිනා නැති වේග පන්දු යවන ක්‍රීඩක නහිඩ් රානා කැඳවා තිබේ. නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය මඟහැරී ගිය මුස්ෆික් හසන් සහ ලිටන් දාස් ද සංචිතයට ඇතුළත්ව සිටිති. තරග දෙකක තහනම හේතුවෙන් ටෙස්ට් සංචිතයට පැමිණි වනිඳු හසරංගට ක්‍රීඩා කිරීමේ අවස්ථා නැත.

“විස්සයි20 තරගාවලියේදී හා එක්දින තරගාවලියේදී අපි හොඳින් ක්‍රීඩා කළා. ඒක සුදු පන්දුව. දැන් අපි ක්‍රීඩා කරන්නේ රතු පන්දුවෙන්. සිල්හෙට් ක්‍රීඩාංගණයේ තණතිල්ලේ තණකොළ ටිකක් වැඩියෙන් තියලා ඔවුන් හදන්නේ. ඒ නිසා එයට අවශ්‍ය ආකාරයෙන් පුහුණු වුණා. වේග පන්දුවට උචිතයි. අපේ රටේදී මේ වගේ තණතිලි ලැබුණා. කොතැන ගියත් එක විදිහට ක්‍රීඩා කරන්නේ. වෙනසකට තියෙන්නේ පවතින දේශගුණයට හැඩ ගැසී ක්‍රීඩා කිරීමයි” නායක ධනංජය ද සිල්වා ඊයේ පැවති ජනමාධ්‍ය හමුවේදී පැවැසීය.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය: ධනංජය ද සිල්වා (නායක), කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න, නිශාන් මධුෂ්ක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සදීර සමරවික්‍රම, කමිදු මෙන්ඩිස්, ළහිරු උදාර, වනිඳු හසරංග, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, නිශාන් පීරිස්, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, චාමික ගුණසේකර

බංග්ලාදේශ ටෙස්ට් සංචිතය: නජ්මුල් හොසේන් ෂැන්ටෝ (නායක), සකීර් හසන්, මහමුදුල්ලා හසන් ජෝයි, සඩ්මාන් ඉස්ලාම්, ලිටන් දාස්, මොනමුල් හක්, තවුහිද් හිරිඩෝයි, සහදත් හොසේන්, මෙහිදි හසන් මිරාස්, තයිජුල් ඉස්ලාම්, ෂොරිෆුල් ඉස්ලාම්, සෙයඩ් කලීඩ්, මුෂ්ෆික් හසන්, නාහීඩ් රානා.