March 20, 2024

‘රොට්වයලර්’ වර්ගයේ සුනඛයකු ආරක්ෂාවට යොදවා බිංගිරිය, තාරණ, උඩවෙල ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවෙසක ගෑස් යොදාගනිමින් මහා පරිමාණයෙන් කසිප්පු පෙරා විකිණීමේ ජාවාරමක නිරතව සිටියේ යැයි කියන අඹුසැමි යුවළක් කුරුණෑගල රිදීගම පොලීසියේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු කණ්ඩායමක් පෙරේදා (17) අත්අඩංගුවට ගනු ලැබූහ.

සුනඛයාගේ ආරක්ෂාව ලබාගැනීමට අමතරව මෙම සුපිරි නිවෙස වටා සී.සී.ටී.වී. කැමරා 16ක්ද සවිකර පොලිස් නිලධාරීන් පැමිණෙන්නේ දැයි නිරීක්ෂණය කරමින් කසිප්පු ජාවාරම කලක් තිස්සේ කරගෙන ගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීපය’ට පවසා ඇත.

වැටළීම්වලට එන පොලිස් නිලධාරීන්ට මෙම සුනඛයා උසිගන්වන බවද කියති.

කසිප්පු පෙරීමට පදම් කරන ලද ගෝඩා අඩංගු විශාල ප්‍රමාණයේ බැරල් හතරක්, ගෑස් සිලින්ඩරයක් සහ කසිප්පු පෙරීමට යොදාගන්නා තඹ දඟරයක් ඇතුළු උපකරණද මෙම වැටළීමේදී පොලිස් භාරයට ගෙන ඇත.

කසිප්පු ජාවාරමෙන් උපයා ගත් මුදල්වලින් මිලදී ගන්නා ලද බවට සැලකෙන මෝටර් රථයක් සහ කසිප්පු ජාවාරමෙන් උපයා ගන්නා ලදැයි කියන රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක්ද සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ මේවා පොලිස් බාරයට ගත් බවද එම නිලධාරියා කීය.

කුලියාපිටිය කඳනේ ගෙදර පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මෙම සුපිරි නිවස වැටළීමට ගිය අවස්ථාවේ සුනඛයා උසිගන්වා දොර ජනෙල් වසාදමා නිවසට ඇතුළුවීමට සැකකරු සහ සැකකාරිය බාධාකර ඇතැයි කියති.

පොලිස් කණ්ඩායමක් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් බිංගිරිය ප්‍රදේශයට පිටත් කර යවා පළමුව උපක්‍රමශීලීව සුනඛයා එම නිවසට යාබදව පිහිටි ඉඩමකට ඇතුළු කර කොටුකර තබා මෙම වැටළීම සිදුකර ඇත.

42.31%
17.27%
32.76%