March 18, 2024

ගෞතම් අදානිගේ ව්‍යාපාරික අවශ්‍යතා ආරක්ෂා කිරීමේදී ශ්‍රී ලංකාව සමඟ ප්‍රදර්ශනය කළ ජවයෙන් පෝක් සමුද්‍ර සන්ධියේ ඉන්දීය ධීවරයන්ගේ සම්ප්‍රදායික අයිතීන් සුරැකීම සඳහා ඉන්දීය මධ්‍යම රජය ශ්‍රී ලංකා රජයට බලපෑම් නොකළේ මන්දැයි ප්‍රශ්න කරමින් තමිල්නාඩු මහ ඇමැති එම්.කේ. ස්ටාලින් එරට අගමැති නරේන්ද්‍ර මෝදි විවේචනයට ලක්කර තිබේ.

ප්‍රධාන ඇමැතිවරයාගේ මෙම විවේචනය පැමිණෙන්නේ තමිල්නාඩුවේ ධීවරයන් දුක් විඳීමට ඩීඑම්කේ විසින් කරන ලද ‘පව්’ හේතු වූ බවට අගමැති මෝදි මෑතකදී කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙනි.

“ශ්‍රී ලංකාවෙන් තමිල්නාඩු ධීවරයන්ට එරෙහිව සිදුවන හිංසනයන් නැවැත්වීමට ඔහුගේ රජය කළේ කුමක්දැයි ප්‍රශ්න කරන විට ‘විශ්ව ගුරු’ ලෙස හඳුන්වන අඅගමැතිවරයා නිහඬ ගුරු බවට පත් වනවා ,”යනුවෙන් ස්ටාලින් දැඩි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

භාරතීය ජනතා පක්ෂයේ බලකොටුවක් වන කන්‍යාකුමාරි හි මාර්තු 15 වැනි දින පැවති ප්‍රසිද්ධ රැස්වීමකදී 1974 දී කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම පිළිබඳව ද වක්‍රව සඳහන් කරමින් තමිල්නාඩුවේ ධීවරයන් මුහුණ දෙන ගැටලුවලට ඩීඑම්කේ සහ කොංග්‍රසයේ පව් හේතු වූ බවට අගමැති මෝදි කළ ප්‍රකාශයට ස්ටාලින් මෙලෙස ප්‍රතිචාර දක්වා තිබිණි.

එම ප්‍රකාශයෙන් ස්ටාලින් කියා සිටියේ එවක ඩීඑම්කේ පක්ෂයේ එම්. කරුණානිධිගේ ප්‍රධානත්වයෙන් යුත් ප්‍රාන්ත ආණ්ඩුවේ විරෝධය නොතකා දුපත ශ්‍රී ලංකාවට පවරා දුන් බව තමිල්නාඩු ජනතාව දන්නා බවයි.

“ප්‍රාන්ත රජයකට රටේ කොටසක් වෙනත් රටකට පැවරිය හැකි යැයි විශ්වාස කිරීමට තරම් අගමැති බොළඳද?” යනුවෙන් ස්ටාලින් ප්‍රශ්න කළේය.

පසුගිය වසර 10 තුළ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ මධ්‍යම රජය විසින් එම දුපත නැවත ලබා ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද ඔහු ප්‍රශ්න කළේය.

“ඇයි මධ්‍යම රජය තමිල්නාඩු ධීවරයන් සිරගත කිරීම නවත්වන්නේ නැත්තේ. ඔවුන් ඉන්දියානුවන් නොවේද?” මහ ඇමැතිවරයා ප්‍රශ්න කළේය.

“බෝට්ටු අත්අඩංගුවට ගෙන ජනසතු කර ඇති බව ශ්‍රී ලංකා රජය නිවේදනය කර තිබෙනවා. ඉන්දීය රජය මෙය නිල වශයෙන් සහ ප්‍රසිද්ධියේ හෙළා නොදකින්නේ ඇයි? මේ සියල්ලටම පිළිතුරු නැහැ. තමන් විශ්ව ගුරු යැයි කියාගන්නා අගමැතිවරයා නිහඬ ගුරු වන්නේ ඇයි?” යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.