March 17, 2024

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සැමරුම කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී වැඩිම ජනතාවක් සහභාගි කරගනිමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව හිටපු මුදල් ඇමැතිවරයකු සහ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රට ගොඩනැගීමේ වැඩසටහනට සහය පළ කරමින් සංවිධානය කර ඇති මැයි දින රැළිය අති සාර්ථක කර ගැනීමට උපරිම සහයෝගය ලබා දෙන ලෙස පක්ෂයේ සංවිධායකයන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

හිටපු මුදල් ඇමැතිවරයකු සහ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායකයා මේ බව සඳහන් කළේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

ආර්ථික අර්බුදයෙන් කඩා වැටුණු රට යහමගට ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමත් වී ඇති බවත්, විදේශ සංචිත ඩොලර් බිලියන 5 දක්වා වර්ධනය වී ඇති බවත්, එහි ප්‍රතිලාභ ජනතාවට හිමි වූ බවත් ඔහු සඳහන් කළේය.

ලංකාව අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ප්‍රශංසාවට ලක්ව ඇති නිසා එම මුල්‍ය අරමුදලේ තෙවැනි වාරිකය අනිවාර්යයෙන්ම ලැබෙනු ඇති බවද කරුණානායක වැඩිදුරටත් පැවසුවේය.

ඔහු සඳහන් කළේ එළැඹෙන මැයි දින උත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රය අසලදී පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බවයි.

මැයි දින රැලිය කොළඹදී පැවැත්වෙන අතර එය වඩාත් සාර්ථක කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ සියලුම සංවිධායකවරුන්ගේ සහ අනුබද්ධ සංවිධානවල සහයෝගය බලාපොරොත්තු වන බව ද රවී කරුණානායක පැවසීය.

“මෙවර මැයි දින සැමරුමේ අපේක්ෂාව වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රට ගොඩනැගීමේ වැඩසටහනට සහය වීමයි. එම කටයුතු සාර්ථක කර ගැනීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුයි.මේ වන විට රට නිවැරදි මාවතට පැමිණ තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා තමන් භාරගත් අභියෝගය සාර්ථකව ඉටු කරමින් සිටිනවා. ඇත්තටම මේ රට දියුණු කරන්න නම් තරගකාරී ආර්ථිකයක් ඇති කළ යුතුයි. තරඟකාරිත්වය තුළ මිල සමතුලිතතාවක් ඇති වෙනවා. කෝටා ක්‍රමය තවදුරටත් සාර්ථක නැහැ. එය අසාර්ථක වී ඇති බවත් දූෂිත බවත් තහවුරු වී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළ නිසි මුල්‍ය විනයක් ඇතිව නිවැරදි මාවතක ගමන් කරන බවට අන්තර්ජාතික මුල්‍ය අරමුදල පවා ප්‍රශංසා කර තිබෙනවා. ජනතාව යම් පීඩනයකින් සිටින බව ඇත්ත. නමුත් පැවති තත්ත්වයට සාපේක්ෂව රට යහපත් තැනකට ගෙනවිත් තිබෙනවා.” යනුවෙන් ඔහු පැවසීය.

42.31%
17.27%
32.76%