March 15, 2024

හිටපු ජනාධිපති වත්මන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ආකාරයටම ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන බව එජාපය ප්‍රකාශ කරයි.

මේ වසරේ (2024) ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබීමත් සමඟ ප්‍රමුඛ පෙළේ දේශපාලන පක්ෂ කිහිපයක් ඒ සඳහා වන සිය සැලසුම් හෙළිකර තිබේ.

‘ඩේලි මෝනිං’ වෙත අදහස් දක්වමින් එජාප මහලේකම් පාලිත රංගේබණ්ඩාර පවසා ඇත්තේ, 2015 දී මෛත්‍රීපාල සිරිසේන කළ ආකාරයටම රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි.

“මෛත්‍රීපාල සිරිසේන 2015 වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් වුණත් ඔහු පොදු අපේක්ෂකයා ඉදිරිපත් වුණා. ශ්‍රීලනිපයෙන් කිසිවෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ නැහැ. ඔහු ඉදිරිපත් කළේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙසයි. රනිල් වික්‍රමසිංහත් එම සංකල්පය යටතේම ඉදිරිපත් වෙනවා. එය පොදු අපේක්ෂකයෙක්ට ලෙස සමාන වේවි.” යැයි එජාප මහලේකම්වරයා පවසයි.

රනිල් වික්‍රමසිංහට ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස තරග කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය මේ වන විටත් ලබාදී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

“අපි පක්‍ෂය විදියට එතුමාගේ අපේක්‍ෂකත්වයට සහය දෙනවා. ඒ ගැන කෘත්‍යාධිකාරී මණ්ඩලය දැනටමත් තීරණය කරලා ඉවරයි. එ.ජා.ප.යේ ජාතික සමුළුවේදීත් ඒකට අනුමැතිය ලැබුණා. අනෙක් පක්‍ෂත් එතුමා වටා රොක් වෙනවා එතුමාගේ ජයග්‍රහණයට සහය දෙන්න.” යැයි ඔහු වැඩිදුරටත් පවසයි.

42.31%
17.27%
32.76%