March 13, 2024

අධිමාත්‍රා සහිත මත්වන කරල් මිල දී ගත් කුරුණෑගල ජනප්‍රිය පාසලක උසස් පෙළ හදාරන සිසුන් දෙදෙනකුට දැඩි ලෙසට අවවාද කර රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත දෙදෙනා වෙන් වෙන් වශයෙන් මුදාහැරීමට මහව ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර රන්ජන් බණ්ඩාර පෙරේදා (11) නියෝග කළේය.

මෙලෙස ඇප මත මුදාහැරියේ කුඹුක්ගැටේ හා මැල්සිරිපුර පොලිස් වසම්වල පදිංචි කුරුණෑගල නගරයට ඔබ්බෙන් පිහිටි ජනප්‍රිය පාසලක උසස් පෙළ පන්තියක ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකි.

ඔවුන් කුරුණෑගල සිට පොල්පිතිගම ඔසුසැලක් වෙතට පැමිණ කුරුණෑගල රෝහලේ මාසික සායනයට සහභාගි වන ඥාති වකුගඩු රෝගියකුගේ සායන පොතක් පෙන්නා අදාළ අධිමාත්‍රා සහිත කරල් ඔසුසලකින් ඉල්ලා තිබේ.

එහෙත් කුරුණෑගල එම සායනයට ඊට පෙර දිනයක සහභාගි වී සියලු බෙහෙත් වර්ග ලබාදී තිබියදීත් මෙම දෙදෙනා නැවත ඒවා ලබාගන්නේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් මතු වූ සැකය හේතුවෙන්, ලබාදුන් තොරතුරක් මත, ඔවුන් දෙදෙනා ඔසුසැල අසලදීම අත්අඩංගුවට ගත් බව පොල්පිතිගම පොලිසිය පවසයි.

ඔසුසැලෙන් මිල දී ගත් අධිමාත්‍රා සහිත කරල් අතරින් කරල් දෙකක් ඔවුන් ඒ වනවිටත් පානය කර තිබූ බවද, අත්අඩංගුවට ගත් බව නොදත් අනිකුත් සිසුන් ඒවා මිල දී ගත්තාද කියා නොඉවසිල්ලෙන් යුතුව දුරකතන ඔස්සේ වරින් වර කරුණු විමසීම තුළ මෙම සිසුන් කාලයක සිට මේවා පානය කරන්නට හුරු වී සිටින බවද පොලිසිය පෙන්වාදෙයි.

පාසලේ පැවැත්වෙන ක්‍රිකට් මහා සංග්‍රාමයකට සහභාගිවන තමන් ඇතුළු මිතුරන්ට පානය කිරීමට දීමට ඒවා රැගෙන යාමට දුර කතර ගෙවාගෙන නාඳුනන පෙදෙසකට පැමිණි බව සිසුන් දෙදෙනා පොලිසිය හමුවේ පවසා තිබේ.

කෙසේවෙතත් පාසල් නොගොස් අන් අයෙකුගේ සායන පොතක් රැගෙන කාලය මිඩංගු කරමින් ඔවුන් යන එන තැන් ගැන අවධානය යොමු නොකර අත්අඩංගුවේ පසුවන දරුවන් තම පවුල්වල වත් පොහොසත්කම් පෙන්වා සිද්ධිය සමතයකට පත් කර ගැනීමට දෙපාර්ශ්වයේම උදවිය කටයුතු කළත් ඊට ඉඩ නොදී, ඔවුන් දෙදෙනාම අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත් බව පොලිසිය පවසයි.

මේ අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවෙන වකුගඩු, පිළිකා ආදි රෝගවලින් පෙළෙන රෝගින්ගේ වේදනාව සමනය කරන්න‍ට දෙන මෙම අධිමාත්‍රා ඉක්මවා ගන්නා අය මත් වන බවත්, ඊට ඇබ්බැහිවූවන් රුපියල් 35කට පමණ අලෙවි කරන මෙම කරලක් රුපියල් 4000 – 6000 අතරේ මුදලකට වුවද මිල දී ගෙන පානය කරන බවත්, තවත් පිරිස් එවැනි මිල ගණන්වලට මේවා අලෙවි කිරීමේ ජාවාරම්වල නියැළෙන බවත් ඔසුසල් හිමියෝ පවසති.

මෙම සිද්ධිය සම්බන්ධව නඩුව නැවත මැයි මස 16 වැනි දිනට විභාග වීමට නියමිතය.(දිනමිණ)

42.31%
17.27%
32.76%