March 12, 2024

පසුගිය සති අන්තයේ සිදුකරන ලද හදිසි වැටළීම් කිහිපයකදී උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලින් ව්‍යාජ ආරක්ෂක ස්ටිකර් සහිත දේශීය මත්පැන් බෝතල් විශාල තොගයක් සුරාබදු දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.

දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලට අනුව දිවයිනේ අදාළ ප්‍රදේශවලින් සහ සහකාර සුරාබදු කොමසාරිස්වරුන් හතර දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් යොදවා තිබූ විශේෂ සුරාබදු කණ්ඩායම් මෙම හදිසි වැටළීම් මාලාව සිදුකර ඇත.

යාපනය, මන්නාරම, වාලච්චේන සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලින් ව්‍යාජ ස්ටිකර් අලවා මෙම දේශීය මත්පැන් තොග අලෙවි කරන වයින් ස්ටෝර්ස් සහ බාර් ගණනාවක් සොයාගෙන තිබේ.

වැටළීම්වලදී දේශීය මත්පැන් නිෂ්පාදන සමාගම් රැසකට අයත් මධ්‍යසාර පාන බෝතල් දහස් ගණනක්, විශේෂයෙන් අරක්කු, අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒවා අදාළ ප්‍රදේශවල සුරාබදු කාර්යාල වෙත භාර දී ඇත.

සුරාබදු ප්‍රධාන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ජනමාධ්‍ය කළ විමසීමකදී පවසා ඇත්තේ, අත්අඩංගුවට ගත් මත්පැන්වල ප්‍රමිතිය තීරණය කිරීම සඳහා පරීක්ෂණ කටයුතු සඳහා සාම්පල ලැබී ඇති බවයි.

ආරක්ෂණ ස්ටිකරය මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය කුප්‍රකට විදේශීය සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් පසුගිය වසර කිහිපය තුළ අවස්ථා ගණනාවකදී චෝදනා එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද කරුණු ඉදිරිපත් කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂ ද සිල්වා, පාඨලී චම්පික රණවක විශේෂ සභා කාරක සභා හමුවේ මේ බව අනාවරණය කළ අතර, ව්‍යාජ ආරක්ෂක ස්ටිකර් වංචාව හේතුවෙන් රජයට වාර්ෂිකව රුපියල් බිලියන 60ක පමණ පාඩුවක් සිදුවන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේය.

42.31%
17.27%
32.76%