March 11, 2024

ශ්‍රී ලංකාව තුළ, විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශ තුළ ඉතා සීඝ්‍රයෙන් විද්‍යුත් දුම්වැටි,උවදුරක් ලෙසින් ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජී.ගුණසිරි අද (11) උදෑසන පැවැසීය.

ඔහු එසේ පැවැසූවේ, සුරාබදු දෙපාර්තමේන්තුවේ, ගම්පහ, ජා–ඇළ විශේෂ සුරාබදු වැටළීම් ඒකකය මගින් සිදුකර තිබූ වැටළීමකින් පසුව, අත්අඩංගුවට ගත් රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා විද්‍යුත් දුම්වැටි තොගයක් පරීක්ෂා කිරීමේ නිරත වෙමින් සිටියදීය .

මේ වනවිට කොළඹ,ගම්පහ,පානදුර වැනි අගනුවරට තදාසන්න ප්‍රදේශවල මෙම විද්‍යුත් දුම්වැටි පාසැල් සිසුන් ඇතුළු වයස අවුරුදු 40ට අඩු පිරිස අතර භාවිතවන බව සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇති බව කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය.

මේ වනවිට ක්‍රමයෙන් ශ්‍රී ලංකාවේ දුරබැහැර ප්‍රදේශ කරා ද මෙම දුම්වැටි ව්‍යාප්ත වෙමින් පවතින අතර, නිදසුනක් ලෙස රත්නපුර ප්‍රදේශයේ ජනප්‍රිය පාසැලක සිසුවකු, මෙවැනි විද්‍යුත් දුම්වැටියක් තම පාසැල තුළට රැගෙන විත්,එක් වාරයක් දුම්පානය කිරීම සදහා රුපියල් 20 ක් මුදලක් අයකර ගෙන ඇති බව දෙමාපියන් විසින් පාසැලට, පොලිසියට සහ සුරාබදු දෙපාර්තමේන්තුව වෙතද පැමිණිළි කර තිබෙන බවද මෙහිදී අනාවරණය කෙරිණි.

මෙම විද්‍යුත් දුම්වැටි දැනට මාර්ගගත ක්‍රමයට (Online) අලෙවි කිරීම සහ බෙදාහැරීම සිදුකෙරෙන අතර, එම දුම්වැටි ස්මාර්ට් අත් ඔරලෝසු, පෙන් ඩ්‍රයිව් , විදුලි බල ගබඩා (Power Bank), සුවද විළවුන් බෝතල් යන ආකාරවලින් නිෂ්පාදනය කර තිබෙන නිසා, මෙය දුම්වැටියක් ලෙස හදුනාගැනීමට අපහසු වී ඇති අතර, මෙම දුම්වැටි පාසැල් සිසුන් සහ තරුණයන් තම පරිගණකය අසළ, සුවද විළවුන් බෝතල් අසළ තැබීමට වගබලා ගන්නා බවද පැවැසේ.

එම දුම්වැටි තුළින් සම්ප්‍රදායික දුම්කොළ ගන්ධය නිකුත් නොවන අතර ඇපල්,දොඩම්,අඹ,කෙසෙල් සහ චෙරි සුවද නිකුත්වීම නිසා මෙය දුම්වැටියක් ලෙස හඳුනාගෙන අවශ්‍ය පියවර ගැනීමට අපහසු වී තිබේ .

මෙම දුම්වැටියක් තුළ දුම් වාර 50,000ක් හෝ 60,000ක් පමණ ඇති අතර , වෙළෙඳ පොළේ විකිණීමට ඇති දුම්වැටියක් ආකාරයට දැල් වීමෙන් පසු එය දැල් වී අවසන් වන තෙක් පානය කළ යුතු වුවද , මෙම දුම්වැටි තමන් කැමති ඕනෑම වේලාවක පානය කිරීමට හැකි වීම විශේෂත්වයකි .

මෙම දුම්වැටි නැවත, නැවත විදුලිය ආරෝපණය කිරීම මගින් අවශ්‍ය වේලාවට දුම් පානය කිරීම සදහා යොදාගත හැකි අතර මෙම දුම්වැටි කෘතිමව දුම් නිෂ්පාදනය කරන බැවින් සහ විෂ සහිත බවින් සහ දැඩි ලෙස ඇබ්බැහි වීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරන, උග්‍ර පිළිකාකාරක බව නිසාම ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අමෙරිකා එක්සත් ජනපදය තහනමට ලක්කර තිබේ .

දැනට මෙම විද්‍යුත් දුම්වැටි කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ,කොළඹ වරාය සහ මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාව තුළට පැමිණෙන බව ද සොයාගෙන තිබේ.

මෙම විද්‍යුත් දුම්වැටි ක්ෂණිකව හදුනා ගැනීමට අධ්‍යාපන බලධාරීන් , පොලිසිය සහ සුරාබදු නිලධාරීන් නොහැකි වීම නිසා මෙම දුම්වැටි මර්දනය කිරීම ද අපහසු වී ඇති බව ද, සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවැසීය.(දිනමිණ)

42.31%
17.27%
32.76%