March 10, 2024

රාජ්‍ය නොවන සංවිධාන (ලියාපදිංචිය සහ අධීක්ෂණය) පනත් කෙටුම්පතේ පිටපතක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිතව දන්වා තිබේ.

2024 මාර්තු 6 වැනි දින මෙම ඉල්ලීම සිදුකර ඇති අතර ඔවුන් ඒ සඳහා ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටී.

රාජ්‍ය නොවන සංවිධාන (NGO) ලියාපදිංචි කිරීම සහ අධීක්ෂණය කිරීම සහ 1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචිය සහ අධීක්ෂණ) පනත අවලංගු කිරීම මෙම පනත් කෙටුම්පතේ අරමුණ ලෙස තමන් වටහාගෙන ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

පනත් කෙටුම්පතේ නවතම අනුවාදයේ පිටපතක් ඉල්ලා සිටීමේ අරමුණ වන්නේ, 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 10(ඇ) වගන්තිය ප්‍රකාරව කොමිෂන් සභාවට සිය වරම ඉටුකිරීමට හැකිවීමයි.

එකී විධිවිධානය මගින් ‘මූලික අයිතිවාසිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම සඳහා නීති සම්පාදනය කිරීමේදී රජයට උපදෙස්දීමට සහ සහායවීමට’ කොමිෂන් සභාවට බලය ලැබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව 2023 ඔක්තෝබර් 26 වැනි දින කම්කරු හා විදේශ රැකියා ඇමැතිවරයාට රැකියා පනත් කෙටුම්පතේ පිටපතක් ඉල්ලා ලිපියක් යවා ඇති අතර තවමත් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටී.

එහි පිටපතක් ඉල්ලා සිටීමට ද හේතු වී ඇත්තේ. 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 10(ඇ) වගන්තිය ප්‍රකාරව ‘මූලික අයිතිවාසිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම සඳහා නීති සම්පාදනය කිරීමේදී රජයට උපදෙස්දීමට සහ සහායවීමට’ කොමිෂන් සභාවට බලය හිමිවී තිබීමයි.

42.31%
17.27%
32.76%