March 10, 2024

ත්‍රස්තවාදය පිළිබඳ විෂයානුබද්ධ නිර්වචන සහිතව අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමට සහ රට තුළ යුක්තිය ඉල්ලා හඬනඟන අයට සිරදඬුවම් දීර්ඝ කිරීමට හේතුවිය හැකි ජනමාධ්‍ය නිදහස සීමාකරන නීති ගෙනඒමේ ඒකාධිපති සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවර සමඟ ශ්‍රී ලංකාවේ තත්ත්වය නරක අතට හැරෙමින් පවතින බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි සැසිවාරයේදී ප්‍රකාශ කළහ.

කාදිනල්තුමා විසින් ඉදිරිපත් කරන ලද සම්පූර්ණ ඉදිරිපත් කිරීම මෙසේයි.

“ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ විශේෂයෙන්ම සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරයා වාචිකව යාවත්කාලීන කිරීම අපි අගය කරනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයට ගොදුරුවූවන් සහ ශ්‍රී ලංකාවේ උතුරු සහ නැඟෙනහිර ප්‍රචණ්ඩත්වය ඇතුළු වින්දිතයන් සඳහා විනිවිද පෙනෙන, ස්වාධීන වගවීමේ ක්‍රියාවලියක් අසාර්ථක වීම පිළිබඳ අපි කණස්සල්ලට පත්ව සිටිනවා.

272කට මරු කැඳවමින් සහ 500කට වැඩි පිරිසකට තුවාල සිදුකරමින් 2019 පාස්කු ඉරිදා දිනයේ පල්ලි තුනකට සහ හෝටල් තුනකට එල්ල වූ පාස්කු ප්‍රහාරයට මේ අප්‍රේල් 21 වැනිදාට වසර පහක් සපිරෙනවා. එදා සිට මේ දක්වා රට පාලනය කළ රජයන් පරීක්‍ෂණ කිහිපයක් පැවැත්වූවත් එමගින් සියල්ලම හෙළිවූයේ නැහැ. නව සාක්ෂි පසෙකට දමා තිබෙනවා. විනිවිද පෙනෙන, ස්වාධීන සහ සාධාරණ පරීක්ෂණයක් සඳහා අප විසින් කරන ලද ඉල්ලීම් සහ ආයාචනා ශ්‍රී ලංකා රජය විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමට තුඩු දිය හැකි ආකාරයෙන් ත්‍රස්තවාදය පිළිබඳ නිර්වචන දෙමින්, රට තුළ යුක්තිය ඉල්ලා කෑගසන අයට සහ අතීතයේ සිදු වූ සියලු ආකාරයේ මිනීමැරුම්, අතුරුදන් කිරීම් ආදිය පිළිබඳ විනිවිදභාවයෙන් යුත් විමර්ශන ඉල්ලා සිටින අයට සිරදඬුවම් දිගු කිරීමට, මාධ්‍ය නිදහස සීමා කරන නීති හඳුන්වා දීමට රජය ඒකාධිපති හා ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවර ගැනීමත් සමඟ මෙම තත්ත්වය වඩාත් නරක අතට හැරී තිබෙනවා. එබැවින්, මේ සියලු කාරණා සම්බන්ධයෙන් විනිවිදභාවයකින් යුත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව අවධාරණය කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නියෝජනය කරන, නිවැරැදිව සිතන සෑම ජාතියකටම අපි ආයාචනා කරනවා.”

ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ඒත්තුගැන්වීම, විස්තාරණය කිරීමට සහ සාක්ෂාත් කර ගැනීමට බහුපාර්ශ්වික ප්‍රයත්නයන් උපයෝගී කර ගැනීම, පූර්ණ හා ඵලදායී සහභාගීත්වය කෙරෙහි අවධානය යොමු කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි සැසිවාරය පෙබරවාරි 5 වැනි දින ආරම්භ වූ අතර එය අප්‍රේල් 5 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

 

42.31%
17.27%
32.76%