March 8, 2024

2022 වසරේදී නිදහස් වූ හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතන නඩුවේ ප්‍රධාන වැරදිකරු වන වී ශ්‍රීහරන් හෙවත් මුරුගන්, එක්සත් රාජධානියට යෑම සඳහා වීසා සම්මුඛ පරීක්ෂණයකට සහභාගීවීමට සහ ඔහුගේ සංචාරක ලියකියවිලි සැකසීමට චෙන්නායි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයට පැමිණීමට අවසර ඉල්ලා ඉන්දියාවේ මදුරාසි මහාධිකරණයට ඉදිරිපත් වී තිබේ.

විනිසුරු එම්.එස්. රමේෂ් සහ විනිසුරු සුන්දර් මොහාන් යන විනිසුරු මඩුල්ල හමුවේ ශ්‍රීහරන් වෙනුවෙන් ඔහුගේ බිරිඳ වන එස්. නාලනී ගොනුකළ පෙත්සම ඊයේ විභාගයට ගෙන තිබිණි.

එහෙත් ඇයගේ නීතීඥ එස්.දුරෙයිස්වාමි සහ වී.ඉලංගෝවන් යන අයට විනිසුරු මඩුල්ල දැනුම් දී ඇත්තේ රජිව් ගාන්ධි ඝාතන නඩුවේ ඉන්දීය අපරාධ විමර්ශන කාර්යාංශය වෙනුවෙන් විනිසුරු සුන්දර් මොහාන් පෙනීසිටි නිසා මෙම නඩුව එම විනිසුරු මඩුල්ලට විභාග කළ නොහැකි බවයි.

මෙම නඩුව වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ තැබීමට අගවිනිසුරුවරයා වෙත යොමුකරන බව විනිසුරු මඩුල්ල ප්‍රකාශ කර තිබේ.

ශ්‍රීහරන් 1996 වසරේ සිය අධ්‍යාපනය සඳහා චෙන්නායි නුවරට පැමිණි බවත්, ඝාතන නඩුවේ වරදකරු වීමෙන් පසු ඔහු MCA ඇතුළු පශ්චාත් උපාධි, ඩිප්ලෝමා පාඨමාලා 24ක් සම්පූර්ණ කර ඇති බවත් එම පෙත්සමෙන් නාලනී සඳහන් කර තිබේ.

ඝාතන නඩු විභාගය, වරදකරු කිරීම සහ නිදහස් කිරීම පිළිබඳ ඉතිහාසය සිහිපත් කරමින් නාලිනී පවසා ඇත්තේ, රජිව් ගාන්ධි ඝාතනයෙන් සති තුනකට පසු 1991 ජුනි 14 වැනිදා අත්අඩංගුවට ගන්නා විට තමන් දෙමස් ගැබිණියක් වූ අතර සිරගෙදරදීම තම දියණිය එස්.මෙහාරා බිහිකළ බවයි.

2006 දී එක්සත් රාජධානියේ ශ්‍රීහරන්ගේ පවුලට එක්වීමට අවසර ලැබීමට පෙර දැරිය ඇය සමඟ වසර දෙකක් ජීවත් වී ඇත.

2022 දී නිදහස් වීමට පෙර ඔවුන් වසර 32 ක් සිරගතව සිටි බව සඳහන් කරන නාලනී, තම දියණිය අවසන් වරට දැක මේ වන විට වසර 16ක් ගත වන බව පවසා ඇත.

මෙහාරා එක්සත් රාජධානියේ වෛද්‍ය භෞතික විද්‍යා උපාධිය සම්පූර්ණ කර 2019 සිට එරට සේවයේ යෙදීසිටියි.

දැන් මව්පියන් ලෙස තමන්ට අවශ්‍ය වන්නේ එක්සත් රාජධානියේ සරණාගතභාවය පතා තම දියණිය සමඟ එහි යෑමට බව ද ඇය සඳහන් කර තිබේ.

නාලනී පවසන්නේ, ශ්‍රීහරන්ගේ සහෝදරියන් තිදෙනෙකුගේ සහ සහෝදරයන් දෙදෙනෙකුගේ පවුල් එක්සත් රාජධානියේ සරණාගතභාවය ලබාගෙන අවම වශයෙන් දශක ගණනාවක් තිස්සේ එහි වාසය කරන බවයි.

“දැන් අපිට ඕන අපේ දුව එක්ක සාමකාමීව ජීවත් වෙන්න” යැයි නාලනී සඳහන් කර ඇත.

නාලනී පවසන්නේ, තමන් සහ ශ්‍රීහරන් එක්සත් රාජධානියේ වීසා සඳහා ඉල්ලුම් කළ බවයි.

2024 ජනවාරි 30 වැනි දින වීසා සම්මුඛ පරීක්ෂණයට සහභාගීවීමට ඇයට හැකි වුවද, ට්‍රිචිහි විදේශිකයන්ගේ රැඳවුම් මධ්‍යස්ථානයේ කඳවුර භාර නිලධාරියා කඳවුරෙන් පිටතට යෑමට ඉඩනුදුන් නිසා ශ්‍රීහරන්ට ඒ සඳහා සහභාගී වීමට නොහැකි වී තිබේ.

තම සැමියාට විදෙස් ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා නාලිනී චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයට ගිය විට ඇයට දන්වා ඇත්තේ, ශ්‍රී ලාංකිකයන්ට ඕනෑම වැඩකරන දිනයක කාර්යාලයට පැමිණිය හැකි අතර ඒ සඳහා වෙන කිසිවක් නොකළ යුතු බවයි.

ඒ අනුව, ශ්‍රීහරන්ට ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයට ආරක්ෂකයන් සමග පැමිණීමට අවසර දෙන ලෙස නාලනී රාජ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද, ඊට ප්‍රතිචාරයක් ලැබී නොමැත.

ශ්‍රීහරන්ට නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයට පැමිණීමට ඉඩ දීම ප්‍රතික්ෂේප කිරීම නීතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීමක් බවත්, මුදා හරින ලද සම වරදකරුවකු වූ රොබට් පයාස් සම්බන්ධයෙන් නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය පෙබරවාරි 22 දින ට්‍රිචි බලධාරීන්ට විද්‍යුත් තැපෑලෙන් ප්‍රතිචාරයක් යැවූ බවත් නාලිනි පවසයි.

ශ්‍රීහරන්ට විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීමට හැකිවන ලෙස ඕනෑම වැඩකරන දිනයක පෙරවරු 9.30 සිට පස්වරු 3.30 දක්වා චෙන්නායිහි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය කොමිසම හමුවේ පෙනීසිටීම සඳහාත්, එක්සත් රාජධානියේ සංචාරය සඳහා වීසා සම්මුඛ පරීක්ෂණයට සහභාගීවීම සඳහාත් අවසර දෙන ලෙස අදාළ බලධාරීන්ට නියෝග කරන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

42.31%
17.27%
32.76%