March 8, 2024

ජනමාධ්‍යවේදීන් වන බිමල් රුහුණගේ සහ රාවණා ලංකා වෙබ් අඩවියේ හිමිකරු ජී.පී. නිශ්ශංක පොලිසිය‍ යොදවා අත්අඩංගුවට ගැනීම දැඩිව හෙළාදකින බව මාධ්‍ය සංවිධාන එකතුව පවසයි.

මාධ්‍ය සංවිධාන එකතුව පෙන්වා දෙන්නේ, මාර්ගගත ක්‍රමවේදවල ආරක්ෂාව පිළිබඳ පනත, ප්‍රතිත්‍රස්ත පනත වැනි නව නීති සම්මත කරමින් නිදහස් අදහස් ඝාතනය සඳහා අවශ්‍ය නෛතික පසුබිම සකසා ගනිමින් තිබියදී මෙලෙස ජනමාධ්‍යවේදීන් අත්අඩංගුවට ගනු ලබන්නේ, අනියමින් බියවැද්දීම හරහා ඔවුන් නිහඬ කිරීමේ නිර්ලජ්ජිත උත්සාහයක් ලෙස බවයි.

ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට පසුබට නොවන බව ද මාධ්‍ය සංවිධාන එකමුතුව පෙන්වාදෙයි.

කුරුණැගල බස් නැවතුම්පළෙහි සිදු වූ සිදුවීමක් වාර්තා කරන අතරතුර පොලිස් රාජකාරියට බාධා කළේ යැයි පවසමින් කුරුණෑගල පොලිසියේ අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගත් බිමල් රුහුණගේ කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා හමුවට පමුණුවා මාර්තු 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන අතර, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පළකිරීමක් කළ බවට චෝදනා කරමින් රාවණා ලංකා වෙබ් අඩවිය හිමි ජී.පී. නිශ්ශංක කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මාර්තු 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

කිසියම් සිදුවීමක් හෝ පුවතක් වාර්තා කළ පමණින් මෙලෙස ජනමාධ්‍යවේදීන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවා රක්ෂිත බන්ධනාගාරගත කිරීම මාධ්‍ය සංවිධාන එකතුව දකින්නේ නිදහසේ වාර්තාකරණයේ යෙදෙන සෙසු මාධ්‍යවේදීන්ද බිය ගන්වා ස්වයං වාරණයකට ලක්කිරීමක් ලෙසයි.

මෙම සිදුවීම්වලට අදාළ මාධ්‍ය වාර්තාකරණය පිළිබඳ කිසියම් ගැටලුවක් ඇත්නම් ඒවා ජනමාධ්‍ය සමාජය තුළ පුළුල් සාකච්ඡාවක් හා මාධ්‍ය ප්‍රතිසංස්කරණ ඇසුරෙන් විසඳා ගැනීමේ හැකියාව තිබියදී,  වාර්තාකරණයේ ස්වභාවය හා ජනමාධ්‍ය නිදහසේ සීමාවන් පිළිබඳ ප්‍රශ්න කරමින් සිදුවන අත්අඩංගුවට ගැනීම් ප්‍රකාශනයේ නිදහස සීමාකිරීම සඳහා දියත් වන වැඩපිළිවෙළෙහිම කොටසක් ලෙස දකින බව මාධ්‍ය සංවිධාන එකතුව පවසයි.

ඉදිරියේදී මර්දනය වඩාත් දැඩි විය හැකි බවට ද ඔවුන් බිය පළකර තිබේ.

‘යුක්තිය මෙහෙයුම’, ‘පොලිස්පතිවරයාගේ පත්වීම’ වැනි සිදුවීම් හරහා මානව හිමිකම් කොමිසමේත්, නීතිය හමුවේත් ප්‍රශ්න කිරීමට ලක්ව ඇති ශ්‍රී ලංකා පොලිසිය යොදවා මෙම අත්අඩංගුවට ගැනීම් සිදුවන්නේ නව නීති ක්‍රියාත්මකවීමට පෙර සහ පවතින නීතිය භාවිත කරමින් වන පසුබිමක, ‘කට වහන’ නව නීති ක්‍රියාත්මක වීමට පටන් ගත් පසු වඩා දරුණු තත්ත්වයක් නිර්මාණය විය හැකි බව ද මාධ්‍ය සංවිධාන එකතුව පෙන්වා දෙයි.

එබැවින් මෙම සිදුවීම්වලට එරෙහිව සෑම ආකාරයකම නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගනිමින් කටයුතු කරන බව පෙන්වාදෙන මාධ්‍ය සංවිධාන එකතුව, සිය වෘත්තීය කටයුතුවල නිරත සියලු ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා කැපවන බව ද නිවේදනය කරයි.

42.31%
17.27%
32.76%