March 6, 2024

මෙරට ක්‍රියාත්මක වෙමින් තිබෙන මත්ද්‍රව්‍ය විරෝධී සහ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ යුක්තිය මෙහෙයුමේදී සිදු වූ බව කියන නීති විරෝධී ක්‍රියාවන් පිළිබඳ මානව හිමිකම් ක්‍රියාකාරිනියක සහ නීතීඥවරියක වන අම්බිකා සත්කුනනාදන්, මේ සතියේ අන්තර්ජාතික ප්‍රජාවගේ අවධානය යොමු කර තිබිණි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි සැසිවාරය වෙත ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරිය දැක්වූ අදහස් සමාජ මාධ්‍ය වේදිකාවල පුළුල් ලෙස ප්‍රචාරය කර තිබිණි.

සිය ප්‍රකාශය මගින් අයිතිවාසිකම් සහ නීතිය සම්බන්ධ ගැටලු ගණනාවක් ඇය පෙන්වා දී තිබේ.

“මෙම උල්ලංඝනයන් අනවසරයෙන් කර සෝදිසි, දුප්පත් ජනසමාජය ඉලක්ක කරගැනීම, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම්, නීතීඥයින් බිය ගැන්වීම් සහ අනිවාර්ය ප්‍රතිකාර මධ්‍යස්ථානවල සහ ජනාකීර්ණ බන්ධනාගාරවල පුද්ගලයන් රඳවා තබා ගැනීම දක්වා විහිදෙනවා. මත්ද්‍රව්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානවල රඳවා සිටින පුද්ගලයන්, හමුදාව විසින් පාලනය කරනු ලබන, කායික හා මානසික ප්‍රචණ්ඩත්වයට ගොදුරු වීම, අමානුෂික රඳවා තබා ගැනීමේ තත්ත්වයන් නිසා මේ ගැන විශේෂයෙන් විශේෂ අවධානයක් යොමුවිය යුතුයි. අන්තර්ජාතික මානව හිමිකම් ප්‍රමිතීන්ට පටහැනි නීති මගින් මෙම උල්ලංඝනයන් වැඩිකර තිබෙනවා,” ඇය අවධාරණය කළාය.

මත්ද්‍රව්‍ය නීති සහ ප්‍රතිපත්ති සඳහා මානව හිමිකම් සහ සෞඛ්‍ය කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක් අනුගමනය කරන ලෙසත්, වධහිංසා නොඉවසන ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙසත්, අත්අඩංගුවේ සිටියදී සිදුව ඇති සියලු මරණ විමර්ශනය කරන ලෙසත්, ඊට වගකිවයුත්තන් වගකිව යුතු බවට සහතික කරන ලෙසත් ඇය රජයෙන් ඉල්ලා සිටියාය.

එපමණක් නොව, සත්කුනනාදන් සිය දේශනය අතරතුර, ශ්‍රී ලංකාව අන්තර්ජාතික මානව හිමිකම් ප්‍රමිතීන් සහ ප්‍රතිපත්තිවලට අනුකූල වන බව සහතික කිරීමේ වැදගත්කම ද අවධාරණය කළාය.

ඇයගේ ප්‍රකාශය පැමිණෙන්නේ අතීත සහ වර්තමාන මානව හිමිකම් කඩවීම් සහ ආර්ථික අපරාධ විමර්ශනය කිරීමට සහ නඩු පැවරීමට විශ්වාසනීය වගවීමේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් Volker Turk ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇති පසුබිමකය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ ඔහුගේ යාවත්කාලීන කිරීමේදී, Turk තවදුරටත් කියා සිටියේ, “ පසුගිය වසරේ (2023 දී) ප්‍රධාන වශයෙන් රටේ උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවල පොලිසිය සහ ආරක්ෂක අංශ වෙතින් සිදුවුණු බව කියන පැහැරගැනීම්, නීතිවිරෝධී රඳවා තබා ගැනීම් සහ වධහිංසා පැමිණවීම්, ලිංගික ප්‍රචණ්ඩත්වය ඇතුළුව සිය කාර්යාලයට ලැබෙන තොරතුරු පිළිබඳ තමා සැළකිලිමත් වන බවයි.

2010 වසරේදී පුද්ගලයකුට වධහිංසා පැමිණවීමේ සිද්ධියකට සම්බන්ධ බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සොයා ගෙන තිබියදීත්, දේශබන්දු තෙන්නකෝන් නව පොලිස්පති ලෙස පසුගියදා පත්කිරීම සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් කණස්සල්ල පළ කළේය.

42.31%
17.27%
32.76%