March 5, 2024

සංචාරක ආකර්ෂණය දිනාගැනීම වෙනුවෙන් මෙරට වෙරළ තීරය සකස්කිරීම අරමුණු කරගත් ‘Blue Flag Beach’ සංකල්පය සම්බන්ධයෙන් පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමගේ සභාපතිත්වයෙන් පසුගිය (පෙබ. 20) දින පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී සාකච්ඡා කර තිබේ.

මෙම රැස්වීම සඳහා නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය, සංචාරක සහ ඉඩම් අමාත්‍යාංශය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යන ආයතන නියෝජනය කරමින් නිලධාරීහු සහභාගීවී ඇත.

එසේම මෙම කාරක සභාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද සහභාගීවී තිබේ.

මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වාදී ඇත්තේ, ‘Blue Flag Beach’ තත්ත්ව සහතිකය ලබා ඇති වෙරළවල් කෙරෙහි සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ෂණය වන බවයි.

ඊට හේතුව මෙම වෙරළවල් වඩාත් ආරක්ෂාකාරී වීම සහ ගුණාත්මක බවෙන් ඉහළ මට්ටමක පැවතීමය.

ලෝකයේ දැනට රටවල් 50ක පමණ වෙරළ තීර 4000ක් පමණ ‘Blue Flag Beach’ සහතිකය ලබා ඇති බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ. එහෙත් ශ්‍රී ලංකාවේ තවමත් ‘Blue Flag Beach’ සහතිකය ලබාගැනීමට වෙරළවල් ගුණාත්මක වශයෙන් සංවර්ධනය නොවීම සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශවවල අවධානය යොමු විය යුතු බවද සභාපතිවරයා පෙන්වාදී ඇත.

මෙහිදී සමුද්‍රීය පරිසර අධිකාරිය පෙන්වාදී ඇත්තේ, ශ්‍රී ලංකාවේ මේ වන විට ප්‍රධාන වෙරළ තීර ‍12 ‘Blue Flag Beach’ සංකල්පය ක්‍රියාත්මක කිරීමට හඳුනාගෙන ඇති බවත්, ඉන් වෙරළ තීර 4ක් ක්‍රියාකාරී මට්ටමට ගෙනඒමට මේ වන විටත් අවශ්‍ය පියවර ගනිමින් පවතින බවත්ය.

එසේම මෙහිදී විපක්ෂ නායක සජිත් ‍ප්‍රේමදාස අදහස් දක්වමින්, වෙරළ ආශ්‍රිතව අනවසර ඉදිකිරීම වැළක්වීම සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳව විමසා තිබේ.

42.31%
17.27%
32.76%