March 1, 2024

කැනඩා යවන බවට චෝදනා නැඟුණු කාන්තාවක් වසර හතකට පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දිනයේම කළින් ලබාගත් රුපියල් පනස් තුන්ලක්ෂ හැත්තෑපන් දහසක මුදලක් වින්දිත පාර්ශ්වයට ගෙවීම පානදුර අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු එන්. සිල්වාගේ අනුමැතිය මත පෙරේදා (28දා) පානදුර අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයේදී සිදුවිය.

එකී මුදල ගෙවා දැමුවේ මුදල් වංචාට සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති උතුරු හෝකන්දර පදිංචි 53 හැවිරිදි කාන්තාවකි.

ද්විත්ව පුරවැසිභාවය සහිතව කැනඩාවේ ගණකාධිකාරිනියක ලෙස සේවය කරන කාන්තාවක මුදල් වංචාව සිදුකර වසර හතකට පමණ පසුව පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර පැණිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රජීව් පී. විතානගේ විසින් සිය සේවාදායකයන් වෙනුවෙන් සාධාරණයක් ඉටුකර එකී මුදල් සියල්ල ගෙවන ලෙසට අධිකරණය හමුවේ ඉල්ලා සිටියේය.

විත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතීඥ තමීර රුද්‍රිගු කියාසිටියේ, සිය සේවාදායිකාව අද දිනයි සියලු මුදල් ගෙවා නඩු කටයුත්ත අවසන් කරගැනීමට එකඟ වන බවයි.

ඒ අනුව දෙපාර්ශ්වයේ එකඟතාව මත මුදල් බැංකු ගිණුම්හි තැන්පත් කර අධිකරණය හමුවේ තහවුරු කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එමෙන්ම ලබන මාර්තු 7දා පැමිණිලේ ස්ථාවරය ඉදිරිපත් කරන ලෙසත් ශ්‍රී ලංකා සහ කැනඩා විදේශ ගමන් බලපත්‍ර දෙකක් සතු සැකකාර කාන්තාව සතු කැනඩා ගුවන් ගමන් බලපත්‍රයද අධිකරණය භාරයට ගන්නා ලෙසත් මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

නඩු අංක 44379, 44453, 44770 සහ 44771 යටතේ නඩු විභාගයට ගෙන තිබු අතර පැමිණිලිකරුවන් තිදෙනෙකු වෙත පිළිවලින් රුපියල් එකොළොස් ලක්ෂ අසුදහසක්, රුපියල් එකොළොස් ලක්ෂ පනස්දහසක් රුපියල් අටලක්ෂ අසූහත්දහස් පන්සීයක් සහ කැනේඩියානු ඩොර් තුන්දහස් හත්සිය පනහක් ඔවුන්ගේ ගිණුම්වලට තැන්පත් කර තිබු අතර සිවුවන පැමිණිලිකරු විදේශ ගතව සිටින බැවින් ඔහුට ගෙවිය යුතු මුදල් අධිකරණයේ තැන්පත් කළ බවද අනාවරණය විය.

ලංකාවේ ජනප්‍රියම පාසලක ගුරුවරයකු අතරමැදි කරුවකු ලෙස යොදා ගනිමින් පැණිලිකරුවන් සිවුදෙනා මුදල් ලබාදී තිබු අතර ප්‍රධාන සැකකාරිය විදේශයක සැඟව සිටි බැවින් වසර ගණනාවක් අතරමැදිකරු වූ ගුරුවරයාට එරෙහිට නඩුව පවත්වාගෙන ගොස් තිබූ අතර ඔහුද නඩුව අතරවාරයේ මියගොස් ඇති බවත් මුදල් කෙසේ හෝ ලබාගැනීමට පැමිණිලිකරුවන්ගේ දැඩි කැපවීම තිබු බවද අධිකරණය හමුවේ අනාවරණය විය.

පොලිසිය වෙනුවෙන් සැරයන් සමන් කුමාර (40354), අධිකරණයට කරුණු වාර්තා කළේය.

නඩුව ගන මාර්තු 7දා යළි කැඳවීමට නියමිතයි.(මව්බිම)

42.31%
17.27%
32.76%