March 1, 2024

බලපත්‍රයක් නොමැතිව පුත්තලමේ පවත්වාගෙන ගිය ඔසුසැලක් වැටලීමට ගිය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් ඔවුන්ගේ රාජකාරිය ඉටු කිරීමට යෑමේ දී, කුප්‍රකට රත්‍රං ජාවාරම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ගේ ලේකම්වරයකු විසින් බලපෑම් කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර තිබේ.

පුත්තලම නගරයේ අලුතින් විවෘත කරන ලද ඔසුසැලේ බලපත්‍රයක් නොමැතිව ඖෂධ අලෙවි කිරීම හේතුවෙන් එහි කටයුතු නතර කරන ලෙස දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් විසින් අනතුරු ඇඟවීම් කිහිපයක් සිදු කර තිබී ඇත.

ඒ අතරතුර කොළඹ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් විසින් මෙම නීතිවිරෝධී ස්ථාන පරීක්ෂා කිරීම සඳහා මේ සතියේ වැටලීමක් සංවිධානය කර තිබේ.

ඒ අනුව පුත්තලම දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ගේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ සහාය ඇතිව කොළඹ සිට පැමිණි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු විසින් පුත්තලම නගරයේ මරික්කාර් වීදියේ උඩයාර් පටුමගේ පිහිටි ඔසුසැලක් පසුගිය ඉරිදා සෝදිසි කර තිබේ.

එහිදී නිලධාරීන්ට දැනගන්නට ලැබුණේ ඔසුසැලේ හිමිකරුට ඔහුගේ ඔසුසැල සඳහා බලපත්‍රයක් හෝ ඖෂධ අලෙවි කිරීම සඳහා පෞද්ගලික ඖෂධවේදි බලපත්‍රයක් නොමැති බව යැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරියෙක් පැවසීය.

වැටලීම සිදුවෙමින් පවතින අතරවාරයේ එම ස්ථානයට පැමිණි පුද්ගලයකු පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස හඳුන්වා දී නිලධාරීන්ට රාජකාරියට බලපෑම් කිරීමට උත්සාහ කර ඇති බව එම ආරංචි මාර්ග පවසයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා එම මොහොතේ දැඩි ස්ථාවරයක සිටි අතර අදාළ දේශපාලන හිතවතාට තම රාජකාරියට බාධා නොකරන ලෙස අවවාද කර තත්ත්වය පාලනය කර තිබේ.

2A සහ 2B කාණ්ඩයේ ඖෂධ වර්ග 144කට අධික ප්‍රමාණයක් එම නීතිවිරෝධී ඔසුසැලේ තිබී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 25ක් පමණ බව කියැවේ.

කෙසේවෙතත්, බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය ඔසුසැල සාමාන්‍ය සිල්ලර බඩු අලෙවි කරන බැවින් ඔවුන් එයට මුද්‍රා තබා නැත.

ඔසුසැලේ හිමිකරු අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබේ.

අත්අඩංගුවට ගත් ඖෂධ තොගය ද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් විසින් මාර්තු 6 වැනිදා පුත්තලම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එදිනට පැමිණෙන ලෙස ද ඔහුට නියෝග කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් කියා සිටියේ වැටලීම සිදුකරන අවස්ථාවේදී තම පෞද්ගලික ලේකම්වරයා එම ඔසුසැලෙන් ඖෂධ කිහිපයක් මිලදී ගැනීමට ගොස් ඇති බවත්, ලේකම්වරයා රාජකාරියට බාධා කළේ නම් ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට හැකි බවත්ය.

සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් රුපියල් මිලියන 74කට අධික වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට තැත් කිරීම හේතුවෙන් පසුගිය වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකා රේගුව විසින් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබීය.

42.31%
17.27%
32.76%