February 29, 2024

කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර ජපානයෙන් කළ ඉල්ලීමක් අනුව ජපානයේ ගොඩනැගිලි පිරිසිඳු කිරීමේ සේවා අංශයේ වෘත්තීය රැකියා අවස්ථා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට විවෘත වන අතර එම ශ්‍රමිකයන් තෝරා ගැනීම සදහා වන පරීක්ෂණ මෙම වසරේ ජුනි මාසයේදී ආරම්භ වන බව එම අමාත්යංශය පවසයි.

ඇමැතිවරයා සහ ජපානයේ ගොඩනැගිලි පිරිසිඳු කරන්නන්ගේ සංගමය අතර ඊයේ (28) දිනයේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡවකදී මේ බව අනාවරණය වී ඇති අතර, සිය ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාරයක් ලබාදෙමින් මෙම රැකියා අවස්ථා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට විවෘත කිරීම සම්බන්ධයෙන් ජපන් රජයට සහ ආගමන විගමන විශය භාර එරට අධිකරණ ඇමැතිවරයාට ඇමැති මනුෂ නානායක්කාර ස්තුතිය පුදකර තිබේ.

N 4 මටටමේ ජපන් භාෂා ප්‍රවීනතාවය ලබාගත් අයට SSW කාණ්ඩය යටතේ මේ සදහා සුදුසුකම් ලබන අතර සුදුසුකම් තහවුරු කරගැනීමේ පරීක්ෂණ කොටස් දෙකකින් සමත්විතවේ. එහිදී ලිඛිත පරීක්ෂණයක් මෙන්ම ප්‍රායෝගික පරීක්ෂණයක්ද පැවැත්වේ. ගොඩනැගිලි පිරිසිදු කිරීමේ ක්ෂේත්‍රය යටතේ SSW පරීක්ෂණය සදහා මුහුණදීමට අපේක්ෂිත ශ්‍රමිකයන් සදහා වන පුහුණු අවස්ථා සම්බන්ධයෙන් ඇමැතිවරයා විමසා ඇති අතර, එයට ප්‍රතිචාර දැක්වූ ජපන් නියෝජිතයින් සදහන් කර ඇත්තේ, ඒ සදහා අවශ්‍ය පෙළපොත් සහ වීඩියෝ පට සකස් කර ඇති බවය. ඒවා ජනතාව අතරට ගෙනයෑම සදහා ක්‍රමවේදයක් සකස් කරන ලෙසට ඇමැතිවරයා මෙහිදී උපදෙස් ලබාදී ඇත.

මෙම රැකියා සදහා යොමුවන ශ්‍රමිකයන්ට SSW 2 මට්ටමට යොමුවීම මගින් කළමනාකාර තනතුරු සඳහා යොමුවීමටද අවස්ථාව හිමිවන බවත් එමගින් ජපානයේ ස්ථිර පදිංචියටද අවස්ථාව හිමිවන බවද ජපාන නියෝජිතයන් මෙහිදී පෙන්වාදී තිබේ.

මෙම සාකච්ඡාව සදහා ජපානයේ ගොඩනැගිලි පිරිසිදු කරන්නන්ගේ සංගමයේ විශේෂ නියෝජිත Sachio Sugiyama ඇතුළු ජපන් නියෝජිතයන් එක්ව සිටි ඇත.

42.31%
17.27%
32.76%