February 26, 2024

මෙරට කඩොලාන ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් දැක බලා ගැනීමට සහ එහි ජීවමාන සමුද්‍ර පරිසර පද්ධතිය ගවේෂණය කිරීමට පැමිණෙන ලෙස පරිසර සංරක්ෂණය වෙනුවෙන් පෙනී සිටින හොලිවුඩ් නළු Jason Momoa හට ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් විසින් උණුසුම් ආරාධනයක් සිදුකර තිබේ.

හොලිවුඩයේ ජනප්‍රිය තරුවක් වන Jason Momoa මේ දිනවල වඩාත් ජනාදරයට පත්ව සිටින්නේ Auqaman චිත්‍රපටය ඔස්සේය.

‘X’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් එක්සත් ජනපද තානාපතිනිය ප්‍රකාශකර තිබුණේ ශ්‍රී ලංකාවේ පාරිසරික ප්‍රයත්නයන් පිළිබඳ ඔහුගේ ප්‍රශංසාව සහ එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහනට දක්වන සහය මෙන්ම #SaveOurOcean වැඩසහටන සඳහා වන කඩිනම් අවශ්‍යතාව වෙනුවෙන් ඔහු හඬ නැගීම ප්‍රබෝධමත් බවයි.

ශ්‍රී ලංකාවේ කඩොලාන ප්‍රතිසංස්කරණයේ සුන්දරත්වය සියැසින්ම අත්විඳිමින් ශක්තිමත් එක්සත් ජනපද-ශ්‍රී ලංකා හවුල්කාරිත්වයේ ගැඹුරට කිමිදීමට පැමිණෙන ලෙස ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනිය වශයෙන් තමන් ඔහුටආරධනා කරන බව ද එම සටහනේ ඇය දක්වා තිබිණි.

එක්සත් ජනපද තානාපතිනිය #VisitSriLanka සහ #YoullComeBackForMore යන හැෂ් ටැග් මීට පෙරද ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්වලට සිය දායකත්වය දක්වා තිබිණි.

තානාපතිනියගේ මෙවර ආරාධනය උණුසුම් වන්නේ, කඩොලාන පරිසර පද්ධති යළි ගොඩනැගීමට සහ ප්‍රතිෂ්ඨාපනය කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන් අගයමින්, Aquaman චිත්‍රපටයේ තරුව වන Momoa විසින් ශ්‍රී ලංකාව ‘එක්සත් ජාතීන්ගේ ලෝක ප්‍රතිස්ථාපන ධජයක්’ ලෙස ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ සුබ පැතූ පසුබිමකය.

එක්සත් ජාතීන්ගේ ලෝක ප්‍රතිස්ථාපන ධජ සම්මානය යනු දිවයින පුරා අසංඛ්‍යාත ජීවිත සහ ජීවනෝපායන් සඳහා උපකාර වන මෙම අත්‍යවශ්‍ය පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කල්පවත්නා විසඳුම් කාලෝචිත ලෙස පිළිගැනීමකි.

නයිරෝබිහි හෙට (පෙබරවාරි 27 )පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේදී ශ්‍රී ලංකාව මෙම සම්මානය ලබා ගැනීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන වෙනුවෙන් වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කරමින් Jason Momoa ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයන් අගය කර තිබිණි.

“ස්වදේශික හවායි ජාතිකයකු ලෙස, මම මේ වසරේ දේශගුණික විපර්යාසවල බලපෑම් සහ විනාශකාරී ගිනි ජාලා සියසින් අත්දුටුවා. අපේ ගොඩබිම්, වෙරළ සහ සාගරවල සෞඛ්‍යය නැවත පණ ගැන්වීම වහා අවශ්‍යයි. සුනාමියෙන් පසු, ශ්‍රී ලංකා දූපත නැවත ගොඩනැංවීමට සිදු වූ අතර, ඔවුන් එය කළේ එයට එරෙහිව සටන් කිරීමට එරෙහිව විසඳුමක් ලෙස සොබාදහමේ බලය භාවිත කරමින්. ‘එක්සත් ජාතීන්ගේ ලෝක ප්‍රතිස්ථාපන ධජයක්’ ලෙස ශ්‍රී ලංකාව පිළිගැනීමට ලැබීම ගැන මට සැමරීමට අවශ්‍යයි. රට තුළ, වෙරළ තීරය ශක්තිමත් කිරීම සඳහා 2030 වන විට ස්වභාවිකව කඩොලාන වනාන්තර හෙක්ටයාර 10,000ක් ජනනය කිරීමට පුරවැසියන් සහ හවුල්කරුවන් එක්ව කටයුතු කරමින් සිටිනවා. ශ්‍රී ලංකාවට සුභ පැතුම්. ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා එකට වැඩ කිරීම පිළිබඳ සුභ පැතුම්. ඔබ තමයි ආදර්ශය, ” යනුවෙන් ඔහු සිය ප්‍රකාශය ඔස්සේ සඳහන් කර තිබිණි.