February 22, 2024

පෙබරවාරි 19 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) ජාතික මහා සම්මේලනය පැවැත්වීම වළක්වමින් ත්‍රිකුණාමලය දිසා අධිකරණය එහි නිලධාරී මණ්ඩලයට වාරණ නියෝගයක් නිකුත් කළේය.

ඉලංකෙයි තමිල් අරසු කච්චිහි සාමාජිකයකු වන චන්ද්‍රසේකරම් පැරා විසින් ගොනු කරන ලද පැමිණිල්ලකට අනුව දිසා අධිකරණය මෙම නියෝගය ලබා දී ඇති අතර වාරණ නියෝගය පෙබරවාරි 29 දක්වා ක්‍රියාත්මක වේ.

නායකයා පත්කරගැනීමේ ඡන්ද විමසීමේදී අනුගමනය කළ බව කියන අක්‍රමිකතා මත පදනම්ව ඉලංකෙයි තමිල් අරසු කච්චිහි නව නායකයා තෝරා පත් කර ගැනීම පැමිණිලිකරු අභියෝග කර තිබේ.

මෙහි විත්තිකරුවන් වශයෙන් නම්කර ඇත්තේ මාවෙයි සේනාධිරාජා, එස්.ශ්‍රීදරන්, පී.සතියලිංගම්, එස්.කුගතාසන්, එස්.එක්ස්. කුලනායගම්, එම්.ඒ.සුමන්තිරන් සහ එස්.යෝගේෂ්වරන්යන පිරිසයි.

2024 ජනවාරි 21 සහ 2024 ජනවාරි 27 යන දිනයන්හිදී පැවැත් වූ යැයි කියනු ලබන මහා සභා රැස්වීම්වලදී ගන්නා ලද කිසිදු තීරණයක් ක්‍රියාත්මක කිරීමට බාධා පමුණුවන වාරණ නියෝගයක් ද ඉලංකෙයි තමිල් අරසු කච්චි නිලධාරී මණ්ඩලයට එරෙහිව පැමිණිලිකරු විසින් තවදුරටත් ඉල්ලා සිටියේය.

නීතීඥ ඊශ්වර්යා සිවකුමාර් මහත්මිය හරහා මෙම පැමිණිල්ල ගොනුකර තිබිණි.

42.31%
17.27%
32.76%