February 22, 2024

ඇෆ්ගනිස්ථානයේ පුරාවිද්‍යාත්මක ස්ථාන 37කට වැඩි ප්‍රමාණයක් තලෙයිබාන් පාලනය යටතේ විනාශකර හෝ ‘ක්‍රමානුකූල කොල්ලකෑම්’ වලට ලක්කර ඇති බව චිකාගෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පවසති.

2018 සහ 2021 අතර කාලය තුළ ඇෆ්ගනිස්ථානයේ භයානක වේගයකින් විනාශයට මුහුණ දුන් පුරාණ ජනාවාස 162ක් එම විශ්වවිද්‍යාලයේ සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කිරීමේ මධ්‍යස්ථානයේ පර්යේෂකයන් විසින් හඳුනාගෙන තිබු අතර, 2021 දී තලෙයිබාන් නැවත බලයට පත්වූ දා සිට ස්ථාන 37ක එම විනාශය අඛණ්ඩව සිදුවෙමින් පවතින බව ද පර්යේෂකයන් හඳුනාගෙන තිබේ.

උතුරු ඇෆ්ගනිස්ථානයේ බල්ක් කලාපය අවට හඳුනාගත් ප්‍රදේශවල චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය මගින් තලෙයිබාන් සංවිධානයේ බලය යටතේ මුලින් හඳුනාගත් කොල්ලකෑම් රටා පිළිබඳ පළමු සාක්ෂිය ලබා දී ඇති බව බීබීසී වාර්තාවක දැක්වෙයි.

කොල්ලකන ලද ස්ථාන ලෝකඩ යුගයට, යකඩ යුගයට සහ ක්‍රි.පූ.1000කට පෙර යුගවලට අයත් වන ඒවා වේ.

මෙම ස්ථාන බොහොමයක් බල්ක් ප්‍රදේශයේ, Achaemenid අධිරාජ්‍ය යුගයේ ක්‍රි.පූ. 6 වන සියවස දක්වා දිවෙන අතීතයකට උරුමකම් කියයි.

පර්යේෂකයන් විසින් ඇෆ්ගනිස්ථානය පුරා පුරාවිද්‍යාත්මක ස්ථාන 29,000ක් හඳුනාගෙන ඇත.

අෂ්රෆ් ඝානි රජය පෙරළා දැමීමෙන් පසු තලේබාන් සංවිධානය නැවත බලයට පත් වූ අතර වඩාත් මධ්‍යස්ථ පාලනයක් පවත්වාගෙන යෑමේ සහතික අතර රටේ පෞරාණික උරුමයට ගරු කරන බවට ද ඔවුන් පොරොන්දු විය.

වසර 1,500කට වැඩි කාලයක් ලොව විශාලතම බුද්ධ ප්‍රතිමාව ලෙස පැවති බාමියන් බුදුන්ගේ ප්‍රතිමාවක් විනාශ කිරීමෙන් පසු 2001 දී තලෙයිබාන්වරු ඉතිහාසඥයින් මවිතයට පත්කළහ.

ඊට හේතුව ඇෆ්ගන් බුද්ධාගමට අයත් එම යුනෙස්කෝ ලෝක උරුම අඩවිය සේද මාවතේ පිහිටි බෞද්ධයන්ගේ ශුද්ධ භූමියක් වීමයි.

චිකාගෝ විශ්වවිද්‍යාලයේ සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කිරීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය ගිල් ස්ටයින් බීබීසීයට පැවසුවේ 2018 සිට එම කලාපයේ සිදුව විනාශයේ නව රටාවක් හඳුනාගෙන ඇති බවයි.

ඔහුගේ කණ්ඩායම පවසන පරිදි බුල්ඩෝසර් විසින් ඉතිරි කළ සලකුණු වියහැකි ආකාරයේ සලකුණු චන්ද්‍රිකා ඡායාරූප මගින් පෙන්නුම් කළ බවයි.

කොල්ලකරුවන් විසින් හාරන ලද වළවල් සහිත අලුතින් බුල්ඩෝසර් කරන ලද තවත් ස්ථාන ද පින්තූරවලින් පෙන්නුම් කර තිබේ.

කොල්ලකන ලද මෙම කෞතුක වස්තු ඉරානය, පකිස්ථානය සහ වෙනත් රටවල් හරහා ඇෆ්ගනිස්ථානයෙන් පිටතට ගෙන යා හැකිව තිබූ බවත්, යුරෝපයේ, උතුරු අමෙරිකාවේ සහ නැගෙනහිර ආසියාවේ කෞතුකාගාර හෝ වෙන්දේසි ආයතනවල ප්‍රදර්ශනය කිරීමට හැකිව තිබූ බවත් ඔහු පැවසීය.

මහාචාර්ය ගිල් ස්ටයින් පවසන්නේ 2018 සිට 2021 දක්වා වසර හතරක කාලය තුළ පුරාවිද්‍යාත්මක අඩවි 162ක් පමණ සතියකට එකක් බැගින් වන විශ්මයජනක වේගයකින් විනාශ වී ඇති බවයි.

කෙසේවෙතත් රටේ ඓතිහාසික ස්ථාන විනාශ කිරීම සහ කොල්ලකෑම් පිළිබඳ ප්‍රකාශ තලේබාන් රජයේ නිලධාරීන් ප්‍රතික්ෂේප කර ඇත.