February 20, 2024

අරගලය පැවැත්වූ “ගෝඨාගෝගම” ගාලුමුවදොර උද්ඝෝෂණ භූමිය කැසිනෝ මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා ලබාදීමට රජය විසින් සැලසුම් කර ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අද චෝදනා කළේය.

අරගලය පැවැත්වූ භූමියේ කැසිනෝ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සඳහා චීන නමක් ඇති ආයතනයකට නාගරික සංවර්ධන අධිකාරිය හරහා බලපත්‍රයක් ලබාදීමට රජය සැලසුම් කර ඇති බවත් මෙම ආයතනය පිටුපස මීගමුවේ ප්‍රසිද්ධ සූදුකාරයකු සිටින බවත් ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ “අරගල භූමිය” කැසිනෝ මධ්‍යස්ථානයක් සඳහා ලබාදෙන්නේ අරගලය කළ ජනතාවගෙන් පළිගැනීමට බවත් එය බරපතළ වරදක් බවත් මන්ත්‍රීවරයා පැවසීය.

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේ දේශීය ජනතාව ඉලක්ක කර ගනිමින් කිසිදු කැසිනෝ මධ්‍යස්ථානයක් විවෘත නොකරන බවයි.

“කැසිනෝ එකක් විවෘත කරන එක ලේසි නැහැ, කැසිනෝ එකක් අරිනකොට මූලිකව රුපියල් බිලියන 10ක් ගෙවන්න ඕන, දේශීය කෙනෙක් කැසිනෝ එකකට ඇතුළු වුණාම අමෙරිකානු ඩොලර් 50ක ඇතුළුවීමේ ගාස්තුවක් ගෙවන්න ඕනේ, වසර දෙකකට පසු එම ගාස්තුව අමෙරිකානු ඩොලර් 200 දක්වා වැඩි කරන්නත් සැලසුම් කරනවා. අපි කැසිනෝවලට අනුග්‍රහය දක්වන ස්වදේශිකයන් අධෛර්යමත් කරනවා. මෙම කැසිනෝ තනිකරම ඉලක්ක කරන්නේ විදේශිකයන්,” යනුවෙන් ඔහු පැවසීය.

42.31%
17.27%
32.76%