February 20, 2024

වසර 52ක් පුරා අධිකරණ හමුවේ විභාග වූ කුරුණෑගල පර්චස් 90ක ඉඩමකට අදාළ ආරවුලක් සම්බන්ධ නඩුවක් පැමිණිලි පාර්ශ්වයට පක්ෂව තීන්දුවක් ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් කර තිබේ.

“දමුණුගහමුලවත්ත” නම් ඉඩමට හිමිකම් ප්‍රකාශ කිරීම, එම ඉඩමෙන් මුල් විත්තිකරු නෙරපා හැරීම, ඔහු විසින් සන්තකයේ තබා ගැනීම සහ අලාභ හානි කිරීම සම්බන්ධයෙන් මුල් විත්තිකරුට එරෙහිව මුල් පැමිණිලිකරු විසින් කුරුණෑගල දිසා අධිකරණයේ මෙම නඩුව ප්‍රථම වරට පවරා තිබුණේ 1972 වසරේදීය .

1976 මාර්තු 29 දින කුරුණෑගල දිසා අධිකරණය පැමිණිල්ලට පක්ෂව තීන්දුවක් ලබා දී තිබිණි.

අනතුරුව දිසා අධිකරණ තීන්දුවට එරෙහිව විත්තිකරු අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර තිබේ.

1984 ඔක්තෝබර් මස 25 වැනි දින අභියාචනාධිකරණය දිසා අධිකරණයේ තීන්දුව ප්‍රතික්ෂේප කර, සාක්ෂි ලෙස ඉදිරිපත් කරන ලද ලේඛන කිහිපයක් දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරු විසින් සැළකිල්ලට නොගැනීමේ පදනම මත නව නඩු විභාගයක් සඳහා නැවත යොමුකර තිබිණි.

දෙවැනි නඩු විභාගයෙන් පසුව, 1997 අප්‍රේල් මස 28 දිනැති තීන්දුව මගින් දිස්ත්‍රික් අධිකරණය පැමිණිලිකරුට පක්ෂව තීන්දුව ලබා දී තිබේ.

පසුව ආදේශ කළ විත්තිකරු විසින් අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය.

අභියාචනාධිකරණය, 2011 දෙසැම්බර් 02 දිනැති තීන්දුව මගින්, ආරවුලක් ඇති ඉඩමේ අයිතිය සහ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා සාක්ෂි භාරය නිසි ලෙස ඉටු කිරීමට පැමිණිලිකරු අපොහොසත් වී ඇති බවට නියෝග කරමින් දිස්ත්‍රික් අධිකරණ තීන්දුව ප්‍රතික්ෂේප කළේය.

අභියාචනාධිකරණ තීන්දුවෙන් අගතියට පත් වූ ආදේශක පැමිණිලිකරු (මුල් පැමිණිලිකරු වෙනුවට ඔහුගේ මරණයෙන් පසු පැමිණි තැනැත්තා ) ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය.

ඒ අනුව 2013 මැයි 6 වැනි දින මෙම කාරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අභියාචනා කිරීමට අවසර දෙන ලදී.

එහිදී ආදේශ කළ පැමිණිලිකරුට පක්ෂව එස්.තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී නවාස් සහ අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් තීන්දුවක් ලබා දෙන ලදී.

42.31%
17.27%
32.76%