February 19, 2024

ශල්‍යකර්ම සඳහා අවශ්‍ය කරන ප්‍රමුඛතා ලැයිස්තුවේ උපකරණ 5,800න් 3,800කට ආසන්න සංඛ්‍යාවක්ම මේ වනවිට ශුන්‍ය මට්ටමක ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසයි.

හෘද ස්ටෙන්ට්, අක්ෂි කාච, අස්ථි ශල්‍යකර්ම සඳහා වන උපකරණ, හදිසි වෛද්‍ය ප්‍රතිකාර හා දැඩිසත්කාර ඒකකවල අපහසුතා පවතින රෝගීන්ට අවශ්‍ය ශ්වසන බට, මුත්‍රා බට ඇතුළු කුඩා පරිමාණයේ සහ මහා පරිමාණ ශල්‍යකර්මවලට අවශ්‍ය වන බොහෝ ශල්‍ය උපකරණවල හිඟයක් වෛද්‍ය සැපයුම් දත්ත පද්ධතියට අනුව නිරීක්ෂණය වන්නේ යැයි ඔහු සඳහන් කරයි.

පසුගිය කාලයේදී ඇතැම් ඖෂධ සීමාව ඉක්මවා ඇස්තමේන්තු සකස්කොට අධික මිලකට ඇණවුම් කිරීම සම්බන්ධයෙන්ද මේ වන විට තොරතුරු වාර්තාවන බවද විශේෂඥ වෛද්‍යවරයා පවසයි.

හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා ඉවත්ව මාස හයක් ගතවුවද ඔහු සමඟ සෞඛ්‍ය පද්ධතිය වෙනුවෙන් තීන්දු තීරණ ලබාගත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන, අතිරේක ලේකම් සමන් රත්නායක, හිටපු විධායක අධ්‍යක්ෂ විජිත් ගුණසේකර වැනි චෝදනා එල්ල වී ඇති නිලධාරීන් සමඟ වර්තමාන සෞඛ්‍ය ඇමැතිවරයාද තීන්දු තීරණ ගැනීම ප්‍රශ්න සහගත යැයි වෛද්‍ය චමල් සංජීව සඳහන් කර ඇත.

සීමාව ඉක්මවා ඖෂධ ඇස්තමේන්තු සකස් කොට ඇණවුම් කිරීම නිසා මේ වන විට වෛද්‍ය සැපයීම් ඒකකය මඟින් ඖෂධ භාරගැනීම නතරකොට ඇති බවත්, දේශීය සහ විදේශීය සැපයුම්කරුවන්ට පසුගිය සැපයුම් සඳහා රුපියල් බිලියන විස්සකට අධික ණයක් ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අර්බුදකාරී තත්ත්වය වටහාගෙන හැකි ඉක්මනින් දූෂිත නිලධාරීන් ඉවත් කිරීමට දැඩි තීරණ ගත යුතු යැයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසයි.

වර්තමාන සෞඛ්‍ය ඇමැතිවරයාද කැබිනට් මණ්ඩලය ඔහු කෙරෙහි තබා ඇති විශ්වාසය කඩකිරීම සහ ව්‍යවස්ථාපිතව රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමට ඇති වගකීම් පැහැරහැරියහොත් ඔහුට විරුද්ධව වුවද නීතිය ඉදිරියට යෑමට අවස්ථාවක් පවතින බව වෛද්‍ය චමල් සංජීව වැඩිදුරටත් පවසා තිබේ.(මව්බිම)

42.31%
17.27%
32.76%