February 19, 2024

සුළු සේවකයන් විසින් සිය කාර්යාලයේ පැය 07ක පමණ කාලයක් තිස්සේ සිරකරගෙන සිටින අවස්ථාවේදී කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ලෙස සුළු සේවකයන්ව රැවටීමකට ලක්කර පසුගිය සිකුරාදා ඇඳ ඇතිරිල්ලකින් වසා පොලිස් ජිප් රථයේ දමාගෙන රැගෙන යනු ලැබුවේ පොලිස් කොස්තාපල්වරයකුව බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

එතරම් උස මහත නොමැති එම කොස්තාපල්වරයාව එසේ විරෝධය පාමින් සිටි සුළු සේවකයන් මැදින් රැගෙන ගොස් පොලිස් ජිප් රථයට දමා ගන්නා අතරතුර ඇතිවූ උණුසුම් තත්ත්වය හමුවේ රුක්ෂාන් බෙල්ලනව පොලිසිය ඔහුගේ කාර්යාලයෙන් පිටතට ගෙන කොරිඩෝව දිගේ පොලිස් නිලධාරීන් වටකරගෙන ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය පිහිටි ගොඩනැඟිල්ලට රැගෙන ගොස්, හදිසි අනතුරු අංශයේ අංක 04 ගේට්ටුවෙන් පිටතට රැගෙන ගොස් ඇත්තේ පොලිස් ජිප් රථයක දමාගෙනය.

එසේ රුක්ෂාන් බෙල්ලනව පොලිසිය මැදිකරගෙන හදිසි අනතුරු අංශය පිහිටි ගොඩනැඟිල්ලෙන් පිටතට රැගෙන යන අයුරු සුළු සේවකයන් කිහිපදෙනෙක් දැක විරෝධය පාමින් කෑකෝගසා ඇතත්, වැඩි පිරිසක් රැඳී සිට ඇත්තේ රුක්ෂාන් බෙල්ලනගේ කාර්යාලය පිහිටි ප්‍රදේශයේ වූ බැවින්, ඔහුව පිටතට රැගෙන යාමට එම සේවකයන් දෙතුන්දෙනාගේ විරෝධය පෑම ප්‍රමාණවත් වී නැත.

රුක්ෂාන් බෙල්ලන ලෙස ඇඳ ඇතිරිල්ලකින් වසාගෙන ගිය පොලිස් නිලධාරියාට බෙල්ලන යැයි සිතා විරෝධතාකරුවන් කිහිපදෙනෙක් පහර දී ඇති බව ද පොලිස් තොරතුරු සඳහන් කළේය.

බෙල්ලන රෝහල් පරිශ්‍රයෙන් හදිසි අනතුරු අංශය දෙසින් පිටව ගිය බවට විරෝධතාවේ නිරත සුළු සේවකයන් දැනගන්නා විට රෝහල් පරිශ්‍රයෙන් ඔහු පිටවගොස් හමාර බව ද පොලිස් තොරතුරු සඳහන් කරයි.(දිනමිණ)

42.31%
17.27%
32.76%