February 18, 2024

හුදකලා බ්‍රිතාන්‍ය දූපතක රඳවා සිටින ශ්‍රී ලාංකික සරණාගතයන් පිරිසක් සිය අනාරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ විමර්ශකයන්ට පැමිණිලි කර තිබේ.

ඔවුන් පවසා ඇත්තේ මෙම දුපතේදී ඔවුන් ලිංගික අතවරවලට මෙන්ම දරුවන් විවිධ හිරිහැරවලට ලක්වන අතර පවතින තත්ත්වය හමුවේ සියදිවි නසා ගැනීමට පවා සිතෙන මට්ටමක සිටින බවයි.

එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ පරීක්ෂකවරුන් මොවුන්ගේ සුභසාධනය පරීක්ෂා කිරීම සඳහා ඉන්දීය සාගර කලාපයේ පිහිටි ඩියාගෝ ගාර්ෂියා දුපත වෙත ගොස් තිබූ අතර එහි කොන්දේසි අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීමකට සමාන බව ඔවුන් සොයාගෙන තිබිණි.

සංක්‍රමණිකයන්ට ජීවත්වීමට මෙම දූපත සුදුසු නොවන බව බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාලය ද පිළිගෙන තිබේ.

අදාළ සංක්‍රමණික කඳවුරට අමතරව එම දූපත එක්සත් රාජධානියේ එක්සත් ජනපද හමුදා කඳවුරක් ලෙස භාවිත කරනු ලැබේ.

සාමාන්‍යයෙන් වසරක කාලයක් සඳහා දහස් ගණන් භට පිරිස් එහි ස්ථානගත කර ඇත.

සිවිල් අමුත්තන්ට දූපතට පැමිණීමට අවසර නැත.

1970 ගණන්වල මුල් භාගයේ සිට එක්සත් රාජධානිය එහි වාසය කරන සියලුම පුද්ගලයන් නැවත පදිංචි කිරීමෙන් පසු දූපතේ නිල වශයෙන් නේවාසික ජනගහනයක් මේ වන විට නොමැත.

දැනට දූපත් කඳවුරේ සිටින පුද්ගලයන් 61 දෙනා බොහෝදුරට ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් වන අතර ඔවුන්ගෙන් පළමුවැන්නා 2021 ඔක්තෝබර් මාසයේදී ඩියාගෝ ගාර්ෂියා වෙත ගොඩබැස ඇත්තේ කැනඩාවට යාත්‍රාකිරීමට උත්සාහ කිරීමේදී ඔවුන්ගේ බෝට්ටුව අනතුරට පත්වීමෙන් පසුව බව පැවසේ.

පසුකාලීනව ඔවුන්ගෙන් ඉදිරිපත් වූ සරණාගත ඉල්ලීම් බ්‍රිතාන්‍ය ඉන්දියානු සාගර ප්‍රදේශය වෙනුවෙන් ඉදිරිපත් වූ පළමු ඉල්ලීම විය.

එහෙත් එය “ව්‍යවස්ථාපිතව වෙනස් සහ එක්සත් රාජධානියෙන් වෙන් වූ” ප්‍රදේශයක් ලෙස විස්තර කර ඇති අතර සරණාගත සම්මුතිය අදාළ නොවන බවට එක්සත් රාජධානියේ රජය තර්ක කරයි.

සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාවට ප්‍රතිචාර දක්වමින් බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලයේ ප්‍රකාශිකාවක් පවසා ඇත්තේ, බ්‍රිතාන්‍ය ඉන්දියානු සාගර ප්‍රදේශය සංක්‍රමණිකයන් සඳහා සුදුසු ස්ථානයක් නොවන බැවින් සංක්‍රමණිකයන්ගේ ආරක්ෂාව සඳහා වන හිමිකම් සැකසීමට සහ ඔවුන්ට සුදුසු ස්ථානයක් සොයාගැනීමට වෙහෙස නොබලා කටයුතු කරමින් සිටින බවයි.

එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ වාර්තාව පවසන්නේ පවුලේ කූඩාරම් සහ තනි පිරිමි කූඩාරම් නම් කිරීමට පසුගිය ජූලි මාසයේදී ගත් තීරණය “ධනාත්මක පියවරක්” නමුත් “වැළැක්වීමේ යාන්ත්‍රණයක් ලෙස ප්‍රමාණවත් නොවිය හැකි” බවයි.

වෙනත් ජනගහණයකට සැතපුම් සිය ගණනක් ඈතින් පිහිටි මෙම දිවයිනේ සිටින සරණාගතයන්ට ආරක්ෂකයන්ගෙන් තොරව මුහුදු වෙරළේ ඇවිද යෑමට හෝ අවසර නොමැති බව එක්සත් ජාතීන්ගේ වාර්තාවේ දක්වා තිබේ.

එය බලාපොරොත්තු සුන්වීම සහ සියදිවි නසාගැනීමේ උත්සාහයන්වලට තුඩු දී ඇති බව වාර්තාව පෙන්වා දෙයි.

මෙම සරණාගතයන්හට අන්තර්ජාලයට ප්‍රවේශයක් නොමැති අතර කිසි දිනක ඔවුන්ගේ නීතිඥයන් පෞද්ගලිකව මුණගැසී නොමැත.

මෙම කණ්ඩායම ආපසු ශ්‍රී ලංකාවට එවිය යුතුද නැතිනම් “ආරක්ෂිත තෙවැනි රටකට” යැවීමට තීරණය කරන්නේද යන්න සඳහා වෙනම ක්‍රියාවලියක් ස්ථාපිත කර ඇත.

එක්සත් ජාතීන්ගේ ඒජන්සිය පවසන්නේ දිවයිනේ කොන්දේසි “පෞද්ගලිකත්වය, ආරක්ෂාව සහ අභිමානය පිළිබඳ අවශ්‍ය ප්‍රමිතීන් සැපයීමට අපොහොසත් වන” බවයි.

“ඔවුන් කැමති පරිදි පිටව යෑමට හැකියාවක් නොමැති සංවෘත ස්ථානයක වාසය කරන්නේ, එය අන්තර්ජාතික නීතිය යටතේ රඳවා තබා ගැනීමකට සමානයි,” යනුවෙන් වාර්තාව පැහැදිලි කරයි.

සරණාගතයන් රඳවා ඇත්තේ ආසන්න වශයෙන් මීටර් 100 ත් 140 ත් අතර වැටක් සහිත ප්‍රදේශයකය.

සරණාගතයන්ට දිනකට ආහාර වේල් තුනක් ලබාදෙන අතර ඔවුන්ගේම ආහාර පිසීමට විකල්පයක් නොමැත.

දිවයිනේ වෛද්‍ය සේවා විසින් 2023 මැයි සහ ඔක්තෝබර් අතර තමන්ටම හානිකරගනීමේ සිදුවීම් 21ක් වාර්තා කර ඇත.

ස්වයං-හානිකර සහ සියදිවි නසාගැනීම් උත්සාහ කිරීම්වලින් පසු කිහිපදෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා සැතපුම් 3,000ක් දුරින් පිහිටි රුවන්ඩාවට මාරුකර ඇත.

කෙසේවෙතත් ඩියේගෝ ගාර්ෂියා වෙත සරණාගතයන් හදිසියේ පැමිණීම විශාල අභියෝගයක් බව එක්සත් ජාතීන්ගේ වාර්තාව ද පිළිගෙන තිබේ.

42.31%
17.27%
32.76%