February 18, 2024

කච්චතිව් දුපතේ ලබන සතියේ පැවැත්වීමට නියමිත ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ වාර්ෂික මංගල්‍යය වර්ජනය කරන බවට තමිල්නාඩුවේ රාමේෂ්වරම් ධීවරයන් තර්ජනය කර තිබේ.

ඔවුන් මෙම තර්ජනය සිදුකර ඇත්තේ නීතිවිරෝධී බොටම් ට්‍රෝලර් යාත්‍රා මගින් මෙරට උතුරු මුහුදු සීමාවේ මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් සිරදඬුවම් විඳිමින් සිටින තම ධීවරයන් වහා නිදහස් කරන ලෙස බලකරමිනි.

පෙබරවාරි 3 වැනි දින මෙරට මුහුදු සීමාවේ නීතිවිරෝධී බොටම් ට්‍රෝලර් යාත්‍රා කිරීම සම්බන්ධයෙන් කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය ඉන්දීය යාන්ත්‍රික බොටම් ට්‍රෝලර් යාත්‍රා ප්‍රධානීන් දෙදෙනෙකුට වසර පහකට අත්හිටවූ වසරක සිරදඬුවමට අමතරව මාස හයක සිර දඬුවමක් සිකුරාදා නියම කළේය.

දෙවැනි වරටත් අත්අඩංගුවේ පසුවන තවත් ඉන්දීය ධීවරයකුට නැවත නැවතත් වැරදි සිදුකිරීම සම්බන්ධයෙන් වසරක සිරදඬුවමක් නියම වූ අතර අනෙක් ධීවරයන් 20 දෙනාට මාස 18ක සිරදඬුවමක් පනවා එය වසර පහකට අත්හිටුවා අනතුරුව නිදහස් කෙරිණි.

නිදහස් කර ඇති ඉන්දීය ධීවරයන් 20 දෙනා ගුවනින් ආපසු ඉන්දියාව බලායෑමට නියමිතය.

පෝක් සමුද්‍ර සන්ධියේ ‘මුහුදේ ආරක්ෂකයා’ වෙනුවෙන් පවත්වන වාර්ෂික මංගල්‍යය පෙබරවාරි 23 සහ 24 යන දිනවල බැතිමතුන් 8,000ක පමණ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

ඔවුන්ගෙන් අඩක්වත් පැමිණෙන්නේ මේෂ්වරම් ඇතුළු තමිල්නාඩුවේ විවිධ වෙරළබඩ ප්‍රදේශවලිනි.

අධිකරණ තීන්දුවෙන් පසු, ඊයේ රැස්වූ රාමේෂ්වරම් ප්‍රාදේශීය ධීවර සංගම්, වාර්ෂික මංගල්‍යය වර්ජනය කිරීමට යෝජනාවක් සම්මත කරගෙන තිබේ.

ඒ, නැවත නැවතත් වැරදි සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ සහ බොටම් ට්‍රෝලර් යාත්‍රා ප්‍රධානීන් දෙදෙනා ඇතුළු ශ්‍රී ලංකා බන්ධනාගාරවල සිටින සියලුම ඉන්දීය ධීවරයන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලමිනි.

රාමේෂ්වරම් යාන්ත්‍රික ට්‍රෝලර් යාත්‍රා සංගමයේ සභාපති පී.ජේසු රාජා ප්‍රකාශ කර ඇත්තේ, රජයන් දෙකම අහිංසක ධීවර ජනතාවගේ ජීවිත සමඟ සෙල්ලම් කරමින් සිටින අතර සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නය විසඳීමට අසමත් වී ඇති බවයි.

“කෙසේවෙතත්, අපේ ධීවරයන් ශ්‍රී ලංකාවේදී සිරගත කිරීම සහ අපේ බෝට්ටු අත්අඩංගුවට ගැනීම අපට පිළිගන්න බැහැ. අපේ ධීවරයන් තම පවුල් නඩත්තු කිරීම සඳහා මසුන් ඇල්ලීමට යන්නේ. හිරේ ගිය ධීවරයන්ගේ පවුල් බලාගන්නේ කවුද?” යනුවෙන් ඔහු ප්‍රශ්න කරයි.

සිරගත කර සිටින ධීවරයන් නිදහස් කරන ලෙස බලකරමින් තමිල්නාඩු ධීවර සංගම් විසින් අඟහරුවාදා රාමනාතපුරම්හි දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට ද තීරණය කර ඇත.

42.31%
17.27%
32.76%