February 17, 2024

පල්ලියේ සහ සමහර දේශපාලනඥයන්ගේ විරෝධය නොතකා සමලිංගික විවාහ නීතිගත කළ පළමු ඕතඩොක්ස් ක්‍රිස්තියානි රට බවට ග්‍රීසිය පත්ව ඇත.

ග්‍රීක පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 176 දෙනකු මෙම යෝජනාවට පක්ෂව ඡන්දය දුන් අතර 76 දෙනකු විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමත් සමඟ මෙම නිතිය බ්‍රහස්පතින්දා පස්වරුවේ සම්මත කරන ලදී.

එහිදී මන්ත්‍රීවරුන් දෙදෙනකු ඡන්දය දීමෙන් වැළකී සිටි අතර 46 දෙනකු පැමිණ සිටියේ නැත.

මෙම පනත් කෙටුම්පත මන්ත්‍රීවරුන් 300කින් සමන්විත පාර්ලිමේන්තුවේ සම්මත වීමට සරල බහුතරයක් අවශ්‍ය විය.

දින දෙකක විවාදයකින් සහ සති කිහිපයක මහජන ප්‍රතිචාරවලින් පසුව පැමිණි මෙම ඡන්දයෙන් පසුව දැන් එරට සමලිංගික ජෝඩුවලට ද දරුවන් හදාගැනීමට නීත්‍යානුකූලව අවසර දෙනු ඇත.

මෙම නව නීතියට පක්ෂව ජනතාව විශාල පිරිසක් ඇතන්ස් අගනුවර වීදිවල සමරමින් ඔල්වරසන් දුන් අතර, ඕතඩොක්ස් පල්ලිය සමඟ එක්ව සිටි පිරිසක් විරෝධතාවයේ නිරතව සිටියහ.