February 16, 2024

දිනෙන් දින ඉහළ යන ළමා අපයෝජන වැළැක්වීමේ අරමුණින් මැඩගස්කර් රජය නව නීතියක් පනවා තිබේ.

ඒ අනුව, බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජන සිදුකරන අපරාධකරුවන් වඳභාවයට පත්කිරීමට අවශ්‍ය නිතීයක් මැඩගස්කරයේ පාර්ලිමේන්තුව විසින් සම්පාදනය කර ඇත.

විදෙස් මාධ්‍ය පවසන්නේ, වැරදිකරුවන් රසායනික හෝ සමහර අවස්ථාවල ශල්‍යකර්මයක් තුළින් වඳ කිරීමට මේ නීතිය මගින් අවසර ලැබෙන බවයි.

මෙම නීතිය පෙබරවාරි 2 වැනිදා සම්මත කරන ලද අතර, එරට පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනෙට් සභාව පසුගිය සතියේ එය අනුමත කර ඇති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපතිවරයාගේ අත්සන් ලැබීමෙන් පසුව එය ක්‍රියාත්මක කළ හැකි බවත් විදෙස් ජනමාධ්‍ය අනාවරණය කරයි.

2023 වසරේදී මැඩගස්කරයේ බාලවයස්කාර දැරියන් දූෂණය කිරීමේ සිද්ධීන් 600ක් වාර්තා වී ඇති අතර, පසුගිය ජනවාරි මාසයේදී පමණක් සිද්ධීන් 133ක් වාර්තා වී තිබේ.

ළමුන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය දිනෙන් දින ඉහළ යෑම හේතුවෙන් මැඩගස්කර රජය අපරාධකරුවන්ට දඬුවම් වැඩිකිරීමට මෙම නීතිය සම්පාදනය කර ඇති බව පැවැසේ.

නව නීතිය අනුව කිසියම් පුද්ගලයෙක් වයස අවුරුදු 10ට අඩු දරුවෙක් දූෂණය කිරීමකට වරදකරු වුවහොත් සැත්කමක් මගින් ඔහුව වඳභාවයට පත්කිරීමට නීතිමය අවසරය හිමිවේ.

මේ අතර වයස අවුරුදු 10 ත් 13 ත් අතර දරුවෙකු දූෂණය කිරීමකට වරදකරු වුවහොත් සැත්කමක් මගින් හෝ රසායනිකව වඳභාවයට පත්කර දඬුවම් ලබාදෙනු ලබයි.

වයස අවුරුදු 14 ත් 17 ත් අතර දරුවෙකු දූෂණය කිරීමකට වරදකරු වුවහොත් රසායනික ද්‍රව්‍ය හෝ ඖෂධ භාවිත කිරීම මගින් වඳභාවයට පත්කර දඬුවම් ලබාදීමට නියමිතය.

කෙසේවෙතත් පැන වූ නව නීතිය අන්තර්ජාතික මානව හිමිකම් කණ්ඩායම්වල විවේචනයට ලක්ව ඇති අතර , ඔවුන් පෙන්වාදෙන්නේ එය රටේ ව්‍යවස්ථාපිත නීතිවලට නොගැලපෙන අමානුෂික හා අවමන් සහගත සැළකීමක් ලෙසයි.