February 15, 2024

මෙරට පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සහ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් රටින් පලාගොස් සිටින අපරාධකරුවන්ට එරෙහිව අන්තර්ජාතික පොලිසිය මගින් ‘රතු නිවේදන’ 42ක් නිකුත් කර ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

කොළඹ ජාතික රෝහල ඉදිරිපිට නව පොලිස් මුරපොළක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියේ අන්තර්ජාතික පොලිසියේ සහය ඇතිව අදාළ සැකකරුවන් යළි දිවයිනට ගෙන්වා ගන්නා බවයි.

අද අලුයම මෙරටට ගෙන්වා ගත් කුප්‍රකට පාතාල නායක සලිඳු මල්ෂික හෙවත් කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා මගින් මෙරට ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණ කර ගැනීම සඳහා තවදුරටත් ප්‍රශ්න කරන බවද ඔහු සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අත්අඩංගුවේ පසුවන නඳුන් චින්තක හෙවත් “හරක් කටා” පලා යෑමට කළ අසාර්ථක උත්සාහයේදී ඔහුට සහය වූ, දැනට පලාගොස් සිටින පොලිස් නිලධාරියා අන්තර්ජාතික පොලිසියේ සහාය ඇතිව හැකි ඉක්මනින් යළි මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව ද වැඩබලන පොලිස්පතිවරයා ප්‍රතිඥා දුන්නේය.

රටපුරා මත්ද්‍රව්‍ය විරෝධී ‘යුක්තිය’ මෙහෙයුම ද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඔහු අවධාරණය කළේය.

42.31%
17.27%
32.76%